හමුදාව බාර ගත් අය මැරූ කතා “එදා නොකීවේ ඇයි?” SB ට ප්‍රශ්නයක් | VIDEO

අත් අඩංගුවේ සිටි එල්ටීටීඊ සාමාජිකයන් ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ඝාතනය කරන ලද බව යුද වැදුනු ආණ්ඩුවේ අමාත්‍යවරයකු ලෙසින් ඉන්නා සමයේ ප්‍රකාශ නොකළේ මන්දැයි එස්බී දිසානායක මන්ත්‍රීවරයාගෙන් ඔහුගේ පක්ෂය විමසයි.

යුද්ධාවසානයෙදී යුද හමුදාවට භාරවූ එල්ටීටීඊ සාමාජිකයන් ඇතුළු දෙමළ පිරිස් ඝාතනය කරන ලද බව එස් බී දිසානායක මන්ත්‍රීවරයා මාධ්‍යවේදීන් හමුවේ පිළිගත්තේ ගිය සතියේය.

එය තරයේ ප්‍රතික්ෂේප කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිල ප්‍රකාශකයා පවසන්නේ රජයේ හමුදා යුද අපරාධ නොකළ බව එදත්, අදත් තම පිළිගැනීම බවයි.

ශ්‍රී ලංකාවට එරෙහිව නැගෙන යුද අපරාධ චෝදනා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේදී ප්‍රතික්ෂේප කිරීමට රාජපක්ෂ සමයේ දී ජිනීවා යවන ලද මානව හිමිකම් බාර අමාත්‍යවරයා වුයේ මහින්ද සමරසිංහයි.

එල්ටීටීඊයේ අම්පාර මඩකලපුව සෙන්පතියා වූ රමේෂ් නමින් ප්‍රකට තම්බිරාජා තුරෙයිරාජසිංහම් යටත්වීමට විනාඩි දහයකට පෙර තමන්ට දුරකතනයෙන් කතා කළ බව මාධ්‍යවේදීන්ට කියා සිටි ශ්‍රීලනිප හිටපු මහ ලේකම් එස් බී දිසානායක භාරවීමෙන් අනතුරුව ඔහු හමුදාව විසින් ඝාතනය කරනු ලැබු බව  මාධ්‍යවේදීන්ට කියා තිබුනි.

ඒ බව ආණ්ඩුව කරන සමයේ නොකී බව ලංකා නිදහස් පක්ෂයේ උප සභාපතිවරයා පවසයි.

“කර්නල් රමේෂ් ගැන කියන කතාව එහෙනම් ඒ වෙලාවේ ගිහිල්ලා කියන්න තිබ්බනේ,” යි මාධ්‍යවේදීන්ට කී මහින්ද සමරසිංහ අමාත්‍යවරයා එම බරපතල ප්‍රකාශය ගැන කටඋත්තරයක් ගන්නට සිදුවනු ඇති බවට විශ්වාසය පල කළේය.

චැනල් 4 චිත්‍රපටියට පැමිණිලි 118 ක්  

ශ්‍රී ලංකාවේ යුද අපරාධ සම්බන්ධ චෝදනා සහිතව කැලම් මැක්රේ ගේ අධ්‍යක්ෂණයෙන් 2011 ජූනි මාසයේ ප්‍රදර්ශනය කරන ලද චැනල් 4 වාර්තා චිත්‍රපටිය දෙමළ ඩයස්පෝරාවේ අවශ්‍යතාව අනුව තාක්ෂණික උපාය යොදා “හදලා පෙන්නූ දේශපාලන වැඩ සටහනක්” ලෙස  ද අමාත්‍යවරයාගේ දෝෂ දර්ශනයට ලක්විය.

ඒ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය මාධ්‍ය ආචාරධර්ම කමිටුවට පැමිණිලි කළද “ඒ ගොල්ලෝ නැවැත්තුවේ නෑ,” යි අමාත්‍ය සමරසිංහ මාධ්‍යවේදීන් හමුවේ කනස්සල්ල පල කළේය.

කෙසේවෙතත්, චැනල් 4 චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීම වලක්වා ලන්නට ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට නොහැකි වුනේ ඔවුන් කළ පැමිණිල්ල පරාජය වූ නිසාය.

බ්‍රිතාන්‍ය මාධ්‍ය ආචාරධර්ම සම්බන්ධයෙන් විභාග කරන ඔෆ්කොම් (OFCOM) ආයතනයට  ලැබුනු පැමිණිලි 118 ක් විභාග කිරීමෙන් අනතුරුව එළැඹි නිගමනය වූයේ චැනල් 4 ප්‍රදර්ශනය කළ “යුද මුක්ත කලාපය: ශ්‍රී ලංකාවේ ඝාතක භූමි” හි එන  කිසිදු දර්ශනයක් අසත්‍ය හෝ නොමග යවන සුළු නොවන බවයි.

රමේෂ් ඝාතනය සම්බන්ධ විස්තර ද එම වාර්තා චිත්‍රපටයේද දැක්වේ.

ශ්‍රී ලංකාවේ රජය වාර්තා චිත්‍රපටය සම්බන්ධයෙන් අංග සම්පූර්ණ ප්‍රතිචාරයක් ලබා නොදුන් බවද 2011 ඔක්තෝබරයේ OFCOM ආයතනය ප්‍රකාශයට පත් කළ පිටු 10 කින් යුත් තීන්දුවේ දැක්වේ.

චැනල් 4 චිත්‍රපටය සම්බන්ධයෙන් ස්වාධීන විමර්ශනයක් කරන ලෙස උගත් පාඩම් හා සංහිඳියා ජනාධිපති කොමිසම (LLRC) විසින් 2011 දී නිර්දේශ කර තිබුනි.

වන්නියේ වෛද්‍යවරු

යුද සමයේ දී රෝහල්වලට බෝම්බ ගැසීම ඇතුළු මානව අහිමිකම් උල්ලංඝන සම්බන්ධයෙන් ඒ දිනවල වන්නියේ සේවය කළ රජයේ වෛද්‍යවරුන් ජනමාධ්‍ය වලට තොරතුරු දෙන ලද්දේ කොටි සංවිධානයේ බිය ගැන්වීම නිසා බවත් මහින්ද සමරසිංහ අමාත්‍යවරයා මාධ්‍යවේදීන්ට පවසා සිටියේය.

ඒ වග එම වෛද්‍යවරුන් හතර දෙනා යුද්ධයෙන් පසුව රජයේ අත් අඩංගුවේ සිටියදී මාධ්‍යවේදීන් හා ප්‍රකාශ කළ බවත් ඔහු සිහිපත් කර දුන්නේය.

කෙසේවෙතත්, ඒ අතර සිටි වෛද්‍යවරයෙක් රටින් පලා යාමෙන් පසු ප්‍රසිද්ධියේ කියා සිටියේ වන්නියේ සිට තමන් දුන් සත්‍ය තොරතුරු අසත්‍ය බව කොළඹදී මාධ්‍යවේදීන්ට කියන්නට බල කරන ලද බවයි.

යුද සමයේ මුලතිව් දිස්ත්‍රික්කයේ හිටපු ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂ තුරෙයිරාජා වර්ධරාජා දෙවසරකට ඉහතදී  ගගන සමග සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටි පරිදි යුද සමයේ එලි කළ තොරතුරු අසත්‍ය බව ජාතික ආරක්ෂාව සඳහාවූ මාධ්‍ය මධ්‍යස්ථානය  විසින් 2009 ජූලි 9 දා කැඳවන ලද හැත්තෑවක් පමණ වන  මාධ්‍යවේදීන් සමුහයක් ඉදිරියේ ප්‍රකාශ කරන්නට සිදුවුයේ බලපෑම් සහ තර්ජන වලට බියේය.

Related posts

Comments are closed.

Top