යුද අපරාධ වලට දඬුවම් ඉල්ලා සිටින යහපාලන ආධාරකරුවන් අර්බුදයක | VIDEO

යුද්ධයේ සිදුවූ අපරාධ සහ ආරක්ෂක අංශ නිලධාරීන් කරන මානව හිමිකම් උල්ලංඝන විභාග කර දඬුවම් කිරීමට හරස්ව යාමට ජනාධිපතිවරයා පියවර ගැනීම යහපාලන ආණ්ඩුව බලයට පත් කළ ඇතැම් බලවේග අර්බුදයට යැවීමට හේතුවී තිබේ.

පුද්ගලයන් පැහැරගෙන ගොස්, වධහිංසා කිරීම හා ඝාතනය සම්බන්ධයෙන් චෝදනා ලබන හමුදා නිලධාරීන් ට එරෙහිව පරීක්ෂණ කරන නිලධාරීන් කැඳවා බැණ වැදී ඇති ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මෑතදී කියා තිබුනේ මානව හිමිකම් රැකීම වෙනුවෙන් එක්සත් ජාතීන් සමග ඇති කරගත් එකඟතා රජයේ ආරක්ෂක අංශ වලට වාසිදායක ලෙසින් වෙනස් කරගන්නට පියවර ගන්නා බවයි.

ජනාධිපති නීතිඥ සාලිය පීරිස්ගේ නායකත්වයෙන් යුත් අතුරුදහන් පිළිබඳ කාර්යාලය සිය නිර්දේශ ඇතුලත් වාර්තාව බාර දීමත් සමගම ජනාධිපති වරයා හමුදා නිලධාරීන් ගලවා ගැනීමේ අරමුණින් ගන්නට සුදානම් වන එම පියවර කිසිසේත් අනුමත කළ නොහැකි බව නව සමසමාජ පක්ෂයේ නායකයා ප්‍රකාශ කරයි.

“මේක එදා සාධාරණ සමාජයක් සඳහා ගත්තු ක්‍රියාමාර්ග වලට පටහැනි තීන්දුවක්,” යැයි ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න කොළඹදී කියා සිටියේ “යුක්ති සහගත මනුෂ්‍ය ඝාතන හා අතුරුදහන් කිරීම්” යනුවෙන් වූ සම්මන්ත්‍රණයක් අමතමිනි.

කොළඹ සහ ඒ අවටින් 2008-2009 සමයේ 11 දෙනකු පැහැරගෙන ගොස් වධහිංසා කොට මරා දමන ලද බවට චෝදනා ලබන නාවික හමුදා නිලධාරීන්ට නීතියෙන් වසං වී සිටීමට ආධාර අනුබල දුන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්නට රහස් පොලිසියට කටඋත්තර නොදී මෙක්සිකෝව බලා යාමට ඉඩ සැලසීමද ආචාර්ය වික්‍රමබාහුගේ දැඩි දෝෂ දර්ශනයට ලක්විය.

පැහැරගන්නා ලද එම පිරිස ඇතුළු පුද්ගලයන් ත්‍රස්තවාදීන් ලෙස නම් කොට හමුදා අත්අඩංගුවේ දී ඝාතනය කිරීම රජය විසින් අනුගමනය කරන නීති විරෝධී කටයුත්තක් ලෙස ඔහු විසින් හෙලා දකිනු ලැබිනි.

එය ඇමරිකා එක්සත් ජනපදය 2003 දී ඉරාකය ආක්‍රමණය කිරීම සමග ලෝකය පුරා ආරම්භ කරන ලද “ත්‍රස්තවාදීන් නඩු නැතිව මරා දැමීමේ ආචාර ධර්මය” අනුගමනය කිරීමක් බව ආචාර්ය වික්‍රමබාහු පෙන්වා දුන්නේය.

“ත්‍රස්තවාදීන් ඒ ළමයි එකොළහද, ත්‍රස්තවාදය ඒ ළමයි එකොළහ අල්ලගත්ත හමුදා ක්‍රියාකාරිත්වයදැ,” යි ඔහු ප්‍රශ්න කළේය.

ජනතා විමුක්ති පෙරමුණේ පුරෝගාමී නායක රෝහණ විජේවීර තිස් අවුරුද්දකට ඉහතදී අත්අඩංගුවේ දී ඝාතනය කිරීම ශ්‍රී ලාංකික සමාජය නිහඬව ඉවසා සිටීම අද පවතින තත්වයට මගපාදා ඇති බව නසසප නායකයා විසින් අවධාරණය කරන ලදී.

එම “විලම්බීතයට ඉඩ ඇරීමෙන්” රට විනාශකාරී මාවතකට යාමට ඉඩ සලසා ඇතැයි කී ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න, ජනාධිපතිවරයා ගේ වර්තමාන ක්‍රියා කලාපය දිගටම පවත්වාගෙන ගියහොත් ඔහුට පිළිතුර දීමට අගමැතිවරයාගේ නායකත්වයෙන් යුත් එක්සත් ජාතික පක්ෂයටත් නොහැකි වනු ඇති බවට කනස්සල්ල පල කළේය.

අතුරුදහන් වූවන් පිළිබද සොයා බැලීමේ කමිටුව විසින් සංවිධානය කරන ලද සම්මන්ත්‍රණය එහි කැඳවුම්කරු සුන්දරම් මහේන්ද්‍රන් සහ රණත් කුමාරසිංහ විසින්ද අමතන ලදී.

Related posts

Comments are closed.

Top