නායකත්වයෙන් අස්කිරීම “පාවාදීමක්”: ඇන්ජලෝ මැතිව්ස්ගෙන් හයේ පාරක්

නායකත්වයෙන් පහකරන ලද  ඇන්ජලෝ මැතිව්ස් එය පරාජය දඩමීමා කරගෙන කළ පාවාදීමක් ලෙස හඳුන්වා දෙමින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් බලධාරීන් දැඩි දෝෂ දර්ශනයට ලක් කර තිබේ.

පාලක මණ්ඩලය සහ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ විසින් නායකත්වයෙන් අස්වන ලෙස  සැප්තැම්බර් 21 කළ ඉල්ලීම තමන් පුදුමයට පත් කළ බව හිටපු ක්‍රිකට් නායකයා පවසයි.

ඇන්ජලෝ මැතිව්ස්ට වහාම ඉල්ලා අස්වන ලෙස ඉල්ලා සිටි වග තහවුරු කරන ශ්‍රී ලංකා ක්‍රිකට් ඉදිරි එංගලන්ත සවාරිය සඳහා දිනේෂ් චන්දිමාල් නායකත්වයට පත් කළ බව නිවේදනය කර තිබේ.

සමස්ත ක්‍රිකට් අධිකාරිය ගන්නා තීන්දු වල වරද තමන්ට පැවරීමට වීරිය කිරීම ගැන අස්වී යන ක්‍රිකට් නායකයා දැඩි ලෙස කනස්සල්ල පල කරයි.

අස්වී යන නායකයකු ජාතික ක්‍රිකට් අධිකාරිය ප්‍රසිද්ධියේ විවේචනය කළ මුල්ම අවස්ථාව මේ ලෙස සැලකේ.

“මුලින්ම මම පුදුමයට පත්වුනද, එක්වරම මට හැඟුනේ ආසියානු කුසලාන තරගාවලියේ දී බංග්ලාදේශය හා ඇෆ්ගනිස්තානයට එරෙහිව ශ්‍රී ලංකාව තරග කළ ඛේදනීය ස්වභාවය පිළිබඳ සමස්ත වෘත්තාන්තයට මා දඩමීමා කරගෙන ඇති බවයි,” යනුවෙන් ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක අධ්‍යක්ෂ ඈෂ්ලි ද සිල්වාට ලියන ලද වේදනා බර ස්වරයෙන් යුත් ලිපියක දැක්වේ.

“වරදින් කොටසක් බාරගැනීමට මම සුදානම් වුවත්, ඒ දෝෂය පවරන්නේ මට පමණක් නම්, එය පාවාදීමක් බව මට දැනේ. ඔබ දන්නා පරිදි සියලු තීන්දු ගනු ලැබුයේ තේරීම් කමිටුව සහ ප්‍රධාන පුහුණුකරු සමග අන්‍යොන්‍ය අවබෝධයෙනි.”

එක්දින හා T20 තරගාවලි සඳහා තමං තවදුරටත් යෝග්‍ය නොවෙතැයි ක්‍රිකට් බලධාරීන් විශ්වාස කරන්නේ නම් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමට වුවද පසුබට නොවන බව පවසන ඇන්ජලෝ මැතිව්ස් “කණ්ඩායමට බරක් වීමට මම කිසිදාක බලාපොරොත්තු නොවෙමි,” යි සිය ලිපියේ වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

Comments are closed.

Top