සුදු වෑන් සහ වධ හිංසා ගැන ෆීල්ඩ් මාර්ෂල් දැන සිටි බව හෙළිවේ | VIDEO

රාජපක්ෂ පාලන සමයේ අගනුවර සිදුවූ පැහැර ගැනීම් සහ අත් අඩංගුවේ වධ බන්ධන සම්බන්ධයෙන් යුද හමුදාපති ධුරය දරන සමයේ තමන් දැන සිටි බව වනජීවී කටයුතු භාර අමාත්‍යවරයා ගෙන් ප්‍රකාශයට පත්වී තිබේ.

ඒ සම්බන්ධයෙන් වගකිව යුතු බවට ඔහුගේ චෝදනාව එල්ලවූයේ හිටපු ආරක්ෂක ලේකම් වරයාට සහ යුද සමයේ රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානියාටයි.

“මම එදත් කිව්වා අදත් කියනවා, කොළඹ වෙච්චි පහර දීම්, පැහැරගැනීම්, ඒ සියලු දේ ගෝඨාභය රාජපක්ෂලා කපිල හෙන්දවිතරනලා මෙහෙයවපු කල්ලි හරහා සිද්ධ වෙච්චි දේවල් කියලා,” යි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මාධ්‍යවේදීන්ට ප්‍රකාශ කළේ කීත් නොයාර් මාධ්‍යවේදියා දස වසරකට ඉහතදී පැහැරගෙන ගොස් වධහිංසා කිරීම සම්බන්ධ රහස් පොලිස් පරීක්ෂණය සඳහා ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුවය.

එම අපරාධය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ චෝදනා නගා තිබුනේ හිටපු හමුදාපතිවරයාටය.

තමන්ට හිතවත් ව සිටි යුද හමුදා නිලධාරීන්ට අත් අඩංගුවේ දී වධබන්ධන පැමිණවූ බවද ඔහු කියා සිටියේය.

යුද හමුදා නිලධාරීන් විසින් කරන ලද අපරාධ සම්බන්ධයෙන් හමුදාපතිවරයා ද  වගකිව යුතු බව පෙන්වා දුන් මාධ්‍යවේදියකුට සරත් ෆොන්සේකා අමාත්‍යවරයා ප්‍රතිචාර දැක්වුයේ යුද සමයේ මාධ්‍ය විසින් කරන ලද විවේචන රජයට එල්ලවූ හෙයින් යුද හමුදාවට මාධ්‍ය මර්දනයේ අවශ්‍යතාවක් නොවූ බව පවසමිනි.

“රජය එක්ක තිබුණු ප්‍රශ්න මත තමයි ඒ හැමදේම සිද්ධ වුනේ. එතකොට ඒවා ඔලුවට ගත්තේ රජයයි ගෝඨාභය රාජපක්ෂලා මිසක්, අපි එව්වා ඔලුවට ගත්තේ නෑ,” යි කී හිටපු හමුදාපති දැනුදු තමන්ට විරුද්ධව මාධ්‍යවේදීන් “මඩ ගැහුවත්” ඔවුන් “පස්සේ එලව, වලවා” යන්නේ නැති බව ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත්, යුද්ධය අවසන් වූ වකවානුවේ රාජ්‍ය රුපවාහිනී සාකච්ඡා වලට එක්වූ ආරක්ෂක ලේකම් වරයා මෙන්ම  යුද හමුදාපතිවරයා ද  යුද්ධයට විරුද්ධවූ මාධ්‍යවේදීන් මර්දනය කිරීමේ අරමුණ  ප්‍රසිද්ධියට පත් කර තිබුනි.

ඒ දෙදෙනා ආරක්ෂක යන්ත්‍රය හසුරුවද්දී අතුරුදහන් කෙරුනු හා ඝාතනය කරන ලද  බවට වාර්තා වී ඇති මාධ්‍යවේදීන් හතළිහකට වැඩි පිරිසට මේ තාක් යුක්තිය ඉටුවී නැත.

Related posts

Comments are closed.

Top