‘ඒ අහඹු අතීත හැන්දෑව’ සහෘදගත කෙරෙයි

සම්මානලාභී ලේඛක මංජුල වෙඩිවර්ධනගේ තුන්වැනි නවකතාව ‘ඒ අහඹු අතීත හැන්දෑව’ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණශාලා පරිශ්‍රයේ පැවැත්වෙන ජාත්‍යන්තර පොත් සල්පිළේ දී එලිදැක්වී ඇත. මෙම නවකතාවේ එක් විශේෂ ලක්ෂණයක් වන්නේ  එය පාඨාන්තර (Versions) දෙකකින් සහෘදයා අතට පත් කිරීමට කතෘවරයා ක්‍රියා කර තිබීමයි.  වෙන වෙනම පිටකවර දෙකකින් යුත් එම පාඨාන්තර ‘අහඹු’ තෝරා ගැනීමකට ලක් කර බලන්නැයි ‘ඒ අහඹු අතීත හැන්දෑව’ කතුවරයා යෝජනා කරයි.

මීට පෙර සහෘද හා විචාරක වෙසෙස් අවධානයට පාත්‍රවුණු ඔහුගේ ‘බත්තලංගුණ්ඩුව’ හා ‘මගේ ආදරණීය යක්ෂණී’ 2009 වසරේ සහ 2014 වසරේ ස්වර්ණ පුස්තකය සඳහා නිර්දේශ විය.

ආන්දෝලනාත්මක තේමාවකින් යුත් ‘මගේ ආදරණීය යක්ෂණී’ 2014 වසරේ ස්වර්ණ පුස්තක සම්මානය අබියස තිබියදී ඊට එරෙහිව පැන නැඟුණු සිංහල බෞද්ධ බලවේග වල විරෝධය හමුවේ ‘කෘතියේ විශිෂ්ඨත්වය පිළිබඳ විශේෂ සඳහනක්’ කිරීමකට සීමා වන්නට ආරියවංශ රණවීර, ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන, සමන් වික්‍රමාරච්චි, ආචාර්ය හර්ෂන රඹුක්වැල්ල සහ ලයනල් ප්‍රනාන්දුගෙන් සැදුම්ලත් උත්තරීතර විනිශ්චය මණ්ඩලය කටයුතු කළේය.

වෙඩිවර්ධනගේ ‘බත්තලංගුණ්ඩුව’ නවකතාව 2009 වසරේ ගොඩගේ ජාතික සාහිත්‍ය සම්මානයට පාත්‍රවිය.

අනූව දශකය මූලාරම්භයේ සිට සාහිත්‍යකරණයේ නියැලෙන මංජුල වෙඩිවර්ධන මුද්‍රිත ග්‍රන්ථකරණයට පිවිසියේ 1997දී ෂේන් මැකෙල්වි සමඟ කළ ‘නිරුත්තර සමාධිය’ කාව්‍ය සංග්‍රහය සමඟ ය. ඉන්පසු ඔහු පළකළ දෙවැනි කාව්‍ය සංග්‍රහය වූ ‘පිළිහුඩුවී’ 2003 වසරේ ගොඩගේ ජාතික සාහිත්‍ය සම සම්මානය හිමිකරගත්තේ ලාල් හෑගොඩගේ ‘ගඟ වක් වී ගලන තැන’ කෘතිය සමඟිනි. ඉන් පසු මේ දක්වා කාව්‍ය කෘති 6ක් පළ කර ඇති ඔහුගේ ‘ ඇහැළ ඇමතුමකට ඇහැරෙමි’ කෘතිය 2011 වසරේ ‘රාජ්‍ය සම්මානය’ සහ ‘විද්‍යෝදය සම්මානය’ හිමි කර ගත්තේ ය.  ඉන්පසු නැවත වරක් ඔහුගේ ‘නිදි නැති නිර්මල ඇසක අගිස්සක කඳුළක’ කෘතිය 2016 වසරේ විද්‍යෝදය සම සම්මානය හිමි කර ගත්තේ සමිත බණ්ඩාර අටුබැන්දෑලගේ ‘කඳු මුදුන’ කෘතිය සමඟිනි.

වසර 2000දී පළ කෙරුණු ඔහුගේ ‘මේරි නම් වූ මරියා’ කෙටිකතා කෘතිය,  ශ්‍රී ලංකාවේ කතෝලික රදගුරු සම්මේලනයේ විශේෂ ඉල්ලීම මත එවක පැවති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ආණ්ඩුවේ සංස්කෘතික කටයුතු බාර ඇමැති ලක්ෂ්මන් ජයකොඩිගේ සෘජු මැදිහත්වීමෙන් වාරණයට ලක්කෙරුනු අතර වසර ගණනාවක් පුරා දිග්ගැස්සුණු අපරාධ හා සිවිල් නඩු ක්‍රියාවලියක ප්‍රතිපලයක් ලෙස එය ස්ථිර තහනමට ලක්විය. ඉන්පසු ඔහු 2010 වසරේදී ‘ශුද්ධ වූ ජුදාස්’ සහ 2016 වසරේදී ‘දුස්ටකමේ සවුන්දර්ය සහ රත්මලානේ තවත් කතා’ නමින් කෙටි කතා සංග්‍රහ දෙකක් පළ කළේ ය. ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් 2017 වසරේ ඇරඹුණු පළමු රජත පුස්තක සම්මාන උළෙලේ වසරේ විශිෂ්ඨතම කෙටිකතා සංග්‍රහය වූයේ ‘දුස්ටකමේ සවුන්දර්ය සහ රත්මලානේ තවත් කතා’ කෘතියයි.

ප්‍රංශයේ විප්‍රවාසීවැ වෙසෙමින් වුව ස්වකීය භාෂාවත් සාහිත්‍යයත් පෝෂණය කිරීම වෙනුවෙන් නිර්මාණාත්මක මැදිහත්වීමක නිරත වෙන මංජුල වෙඩිවර්ධන වෘත්තීයෙන් ජනමාධ්‍යවේදියකු වන අතර ඔහු ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම වෙනුවෙන් වෙහෙසෙන ‘ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ’ (JDS) වෙබ් අඩවියේ සංස්කරණ කමිටු සාමාජිකයෙකි.

Related posts

Comments are closed.

Top