බංග්ලාදේශ මාධ්‍යවේදියකුට නිදහස ඉල්ලන ජගත් විරෝධයට ශ්‍රී ලංකාවත්

ආණ්ඩුවේ ශිෂ්‍ය මර්දනයට එරෙහිව ප්‍රසිද්ධියේ අදහස් පලකිරීම නිසා දෙමාසයකට ආසන්න කාලයක් තිස්සේ හිරගත කර සිටින බංග්ලාදේශ මාධ්‍යවේදියකු නිදහස් කරන ලෙස බලකරමින් ලොව පුරා පැවැත්වෙන උද්ඝෝෂණ මාලාවට ශ්‍රී ලංකාවේද ප්‍රජාතන්ත්‍රකාමී ක්‍රියාකාරීහු එක්වෙති.

ජගත් කීර්තිධර සේයා මාධ්‍යවේදී ෂහිදුල් අලාම්ගේ නිදහස වෙනුවෙන් ඔක්තෝබර් 2 දහවල් 12ට කොළඹ විරෝධතාව පවත්වනු ඇත්තේ බංග්ලාදේශ මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිටය.

ඩකා අගනුවර දියත් කෙරෙන ශිෂ්‍ය මර්දනය දැඩිලෙස විවේචනය කරමින් අල් ජසීරා රූපවාහිනියට අදහස් දැක්වීමත් සමග මාධ්‍යවේදී අලාම් අගෝස්තු 5 දා රාත්‍රියේ පොලිසිය විසින් පැහැරගෙන යන ලදී.

පනස් තුන් හැවිරිදි මාධ්‍යවේදියාට එරෙහිව චෝදනා නගනු ලබන්නේ “විවිධ මාධ්‍ය වලට අසත්‍ය තොරතුරු සැපයීම සහ ප්‍රකෝපකාරී ප්‍රකාශන කිරීම” සම්බන්ධයෙන් බව පොලිසිය පවසයි.

තමන්ට පොලිසියේදී පහර දුන් බව ෂහිදුල් අලාම් ප්‍රකාශ කර තිබේ.

ඔහුගේ නිදහස ඉල්ලා ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන, මාධ්‍යවේදීන්, ලේඛකයන් හා ඡායාරූප ශිල්පීන් ලොව පුරා විරෝධතා දියත් කර ඇත.

බංග්ලාදේශයේ සිදුවීම් සිය කැමරාවෙන් සදාතනික කළ ෂහිදුල් අලාම්ගේ සේයාරූ ලොව පුරා මුල් පෙලේ පුවත්පත් හා සඟරා වල පලවී තිබේ.

දෘක් ඡායාරූප ආයතනයේ සහ සේයා මාධ්‍යවේදී පුහුණු පාසලේ පුරෝගාමියා වන ඔහු නවරැල්ලේ බංග්ලාදේශ ඡායාරූප ශිල්පීන් පරම්පරාවක් බිහිකිරීමේ නියමුවා ලෙස සම්භාවනාවට පාත්‍ර වෙයි.

කොළඹ විරෝධතාව සඳහා වැඩි විස්තර සඳහා 0777 248304 අමතන ලෙස සංවිධායකයෝ ඉල්ලා සිටිති.

Related posts

Comments are closed.

Top