පිදුරංගල නඩුවට පෙරදා බෞද්ධ සංචාරක සමුළුවක් රිදී විහාරයේ

ශ්‍රී ලංකාවේ “බෞද්ධ ස්ථාන හා බෞද්ධ සංස්කෘතියට හානියක් නොවන අයුරින් රටේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම” අරමුණු කොටගත්  බෞද්ධ සංචාරක සමුළුවක් හා ජාත්‍යන්තර බෞද්ධ සංචාරක මධ්‍යස්ථානයක්  ඔක්තෝබර් මස 2 දින කුරුණෑගල රිදී විහාරයේ දි ආරම්භ වීමට නියමිත බව රජය නිවේදනය කරයි.

රජය මෙම සමුළුව සංවිධානය කොට ඇත්තේ පිදුරංගල මත දී යටිකයේ පශ්චාත් භාගය දැක්වෙන ඡායාරුප මුහුණු පොතේ පලකිරීම නිසා  පුරාවිද්‍යා පනත යටතේ නඩු පවරනු ලැබූ  ගත් තරුණ පිරිසක් සම්බන්ධයෙන් සංවාදයක් ඇවිල යාමත් සමගය.

කොළඔ විශ්ව විද්‍යාලයේ සංචාරක ආර්ථික විද්‍යා හා හෝටල් කළමණාකරණ ශාස්ත්‍රපති උපාධි පාඨමාලාවේ ආදි විද්‍යාර්ථින් විසින් සංවිධානය කරන මෙහි තේමාව වන්නේ ,”මධ්‍යම ප්‍රතිපදාව හා සරල දිවිපැවැත්මක් තුළින් වගකිම් සහිත ආගමික සංචාරක සංවර්ධනයක්,” යන්නයි.

මෙම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙසින් කාම්බෝජ සංචාරක ඇමැති ආචාර්ය තොන් කොන්  සමග සංචාරක හා ක්‍රිස්තියානු කටයුතු පිළිබඳ අමාත්‍ය ජෝන් අමරතුංග, බෞද්ධ ආගමික කටයුතු පිළිබඳ අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා ඇතුළු මැති ඇමතිවරු රැසක් මිට සහභාගි විමට නියමිතව ඇත.

ඉන්දියාව, බංග්ලාදේශය, ජපානය,කොරියාව,චිනය,ඉන්දුනීසියාව,ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නේපාලය, කාම්බෝජය, තායිලන්තය වැනි රටවල් රැසක් නියෝජනය කරමින් විද්වතුන් හා විශාරදයන් මෙම සමුළුවට සහභාගි විමට නියමිත බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙම සමුළුවේ ප්‍රධාන දේශනය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලෝක ආගම් පිළිබඳ පාර්ලිමේන්තුවේ පත් කළ සභාපති ඕඩ්රි කිතගාව මහත්මිය විසින් පැවැත්වීමට නියමිතය.

පිදුරංගල ගල්තලාව මත දී ගන්නා ලද ඡායාරූප තමන්ගේ පුද්ගලික මුහුණු පොත් අඩවියේ පළකිරීමෙන් අනතුරුව අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කර ඇති තරුණයන් තිදෙනකු දඹුල්ල අධිකරණයේ නැවත පෙනී සිටීමට නියමිතව ඇත්තේ රිදී විහාරයේ බෞද්ධ සංචාරක සමුළුවට පසුදාය.

Related posts

Comments are closed.

Top