ශ්‍රී ලංකාවේ මුල් වරට පාසල් අතර බේස් බෝල් තරගාවලියක්


වයස අවුරුදු 20න් පහළ අන්තර් පාසල් බේස් බෝල් තරඟාවලියක් ඔක්තෝබර් මස 10 සිට 14 දක්වා පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.

මෙම තරඟාවලිය ක්‍රීඩාංගන 3ක පැවැත්වීමට තීරණය කර ඇති බවයි 2 අගහරුවාදා පැවැති මාධ්‍ය හමුවකදි ශ්‍රී ලංකා පාසල් බේස් බෝල් සංගමය සහ ‍කොළඹ නාලන්දා විද්‍යාලයිය කණිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමය සදහන් කළේ.

ප්‍රථම වරට පැවැත්වෙන වයස අවුරුදු 20න් පහළ අන්තර් පාසල් බේස් බෝල් තරගාවලියේ සමාරම්භක උළෙල දියගම පිහිටි ජාතික බේස්බෝල් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතව ඇත.

සෙසු තරඟ කොළඹ විශ්ව විද්‍යාල ක්‍රීඩාංගනයේ සහ නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගනයන්හිදී පැවැත්වීමට නියමිතය.

කණ්ඩායම් 15ක ක්‍රීඩකයන් 345ක් ඇතුළු සමස්ථ නිළධාරීන් 450ක් පමණ මෙම තරඟාවලියට එක් වීමට නියමිත බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

මාධ්‍ය හමුවට එක්වු ජාතික බේස් බෝල් කමිටුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ප්‍රියන්ත ඒකනායක පවසා ඇත්තේ 1980 වසරේදී මුල් වරට ලංකාවට හඳුන්වා දුන් බේස්බෝල් ක්‍රීඩාව මේ වන විට පාසල් 22 ක පමණ ප්‍රචලිත වී ඇති බවයි.

මෙම ක්‍රීඩාව තවදුරටත් ව්‍යාප්ත කිරීම සඳහා මෙම තරගාවලිය උපයෝගී කරගැනීමට තමන් බලාපොරොත්තු වන බව ඔහු වැඩි දුරටත් සදහන් කර තිබේ.

පාසල් බේස්බොල් සංගමයේ සභාපති කොළඹ රාජකීය විද්‍යාලයේ විදුහල්පති බී.ඒ අබේරත්න මාධ්‍ය හමුවේදී සදහන් කර ඇත්තේ අද වන විට සියළුම පාසල් දරුවන්ට ක්‍රීඩාව අනිවාර්ය කර ඇති බැවින් පාසල් වල බේස් බෝල් ක්‍රීඩාව ජනප්‍රිය කර ගැනීම සඳහා මෙය අවස්ථාවක් කර ගන්නා බවයි.

මෙම තරගාවලිය සඳහා අධ්‍යාපන අමාත්‍යංශය, ක්‍රීඩා අමාත්‍යංශය, ඔලිම්පික් කමිටුව මෙන්ම හොරෙයිසන් විශ්ව විද්‍යාලයද දායකත්වය ලබා දෙන බව ඔහු අනාවරණය කර තිබේ.

බේස්බෝල් ක්‍රීඩාව අනිකුත් පාසල්වලද ව්‍යාප්ත කිරීම සඳහා තම පාසල සහ කණිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමය හැකි සෑම සහයෝගයක්ම ලබා දෙන බව කොළඹ නාලන්දා විදුහලේ විදුහල්පති තිලක් වත්තුහේවා මාධ්‍ය හමුවට එක්වෙමින් පැවසු බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කරයි.

ශ්‍රී ලංකාව නියෝජනය කරන හොඳ ක්‍රීඩකයන් පිරිසක් අනාගතයේදී පාසල් වලින් බිහි කිරීමේ අරමුණින් නාලන්දා විද්‍යාලය සහ කණිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමය එක් වී 20න් පහළ මෙම තරගාවලිය සංවිධානය කළ අතර ප්‍රධාන ක්‍රීඩා කෙරෙහි යොමු වන අතරම මේ ක්‍රීඩාව සම්බන්ධයෙනුත් පාසල් සිසුන්ගේ අවධානය යොමු කරවීම මූලික අරමුණ බව ඔහු වැඩි දුරටත් සඳහන් කර තිබේ.

Related posts

Comments are closed.

Top