ජනාධිපතිගේ නිව්යෝර්ක් දේශනය රටට අභියෝගයක්: බාහු | VIDEO

යුද්ධයේ සිදුවූ අපරාධ සහ මානව හිමිකම් උල්ලංඝන සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් මණ්ඩලය හමුවේ ගිවිසගත් වගකීම් වලින් ඉවත් වීමේ අභිලාෂය පල කරමින් ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ කළ දේශනය නිසා ශ්‍රී ලංකාව බරපතල අභියෝගයකට මුහුණ පා සිටින බව ආණ්ඩුව පිහිටුවීමට වෙහෙස වූ වාමාංශික නායකයෙක් අනතුරු අඟවයි.

වර්තමාන පාලනයේ තුන් අවුරුද්දක් තුල ජාත්‍යන්තර ප්‍රජාව දැක්වූ අනුග්‍රහය නැතිවී යාමේ අවදානමකට රට හෙලීමට ජනාධිපතිවරයාගේ නිව් යෝර්ක් දේශනය හේතු වනු ඇති බවට නවසමසමාජ පක්ෂයේ නායකයා අනතුරු අඟවා සිටියේ ගම්පහ සනස ශාලාවේ පැවති සම්මන්ත්‍රණයක් අමතමිනි.

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 73 වැනි සැසිවාරයේදී ඉල්ලා සිටියේ “අපේ තිබෙන්නා වූ ප‍්‍රශ්න අපට විසඳාගන්න” ඉඩ දෙන ලෙසයි.

“අපිට අපේ ප‍්‍රශ්න විසඳාගන්න අප විසින් කර ඇති වැඩපිළිවෙළ ඉතාමත් වැදගත් වෙනවා. කිසිදු විදේශ බලපෑමක්, විදේශ තර්ජන ස්වාධීන රටක් ලෙස අපට අවශ්‍ය වන්නේ නැහැ. ඒ නිසා අපි සෑම අතින්ම ශක්තිමත් රටක් විදියට සියලුදෙනාගෙන් ඉල්ලා සිටින්නේ අපට තිබෙන්නා වූ ප‍්‍රශ්න විසඳාගැනීමට අපට ඉඩ දෙන්න. ස්වාධීන රටක් විදියට අපේ රටේ අයිතිය තහවුරු කරගෙන ඉදිරියට යන්න ඉඩ දෙන්න,” යි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කළේය.

ආණ්ඩු එක්වී අන්‍යොන්‍ය වශයෙන් කටයුතු කරන සභාවක් වන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික  රටක් ලෙස ශ්‍රී ලංකාවේ සිදුවන මානව හිමිකම් උල්ලංඝන සම්බන්ධයෙන් මැදිහත් වීමේ වගකීමක් ඇති බව පවසන  නසසප නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න, ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය “පාවාදීමක්” ලෙස හෙලා දකී.

“මේ රටේ වෙච්චි අපරාධ වලට විදේශ රටවල් වග කියන්න ඕනේ නැද්ද?” යි  ඔහු විමසා සිටියේය.

“ඒ ගොල්ලෝ හොයලා බලන්න ඕනේ නැද්ද? අපි ඇයි එහෙනම් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉන්නේ?”

ශ්‍රී ලංකාවද පලස්තීන ප්‍රශ්නය වැනි වෙනත් රටවල ගැටළු සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය තුල මැදිහත් වූ ආකාරය නසසප නායකයා සිහිපත් කර දුන්නේය.

ජනාධිපතිගේ ඉල්ලීම පිළිගනිමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාවට ඉවත් වීමට අවසර දුනහොත් උදාවන්නේ “බහුබූත තත්වයක්” යයි පැවසු ඔහු එමගින් ශ්‍රී ලංකාවේ ආරක්ෂාවද අනතුරේ වැටෙනු ඇති බවට අනතුරු ඇඟවීය.

එවැනි තත්වයක් උදා වුවහොත්, “කවුරුහරි ඕගොල්ලන්ට ගැහුවොත්, කවුරුහරි ඕගොල්ලන්ට අරියාදු කළොත් අපි එන්නේ නැහැ,”  යි එජා සංවිධානය ශ්‍රී ලංකාවට දන්වා සිටීමේ අවදානමක් ඇති බවද ආචාර්ය වික්‍රමබාහු කියා සිටියේය.

මානව හිමිකම් මණ්ඩලයෙන් ඉවත් වීමට ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සතු අධිකාරිය ශ්‍රී ලංකාවට නොමැති බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

Related posts

Comments are closed.

Top