“හමුදාවට දඬුවම් නොදෙන බව එජා සමුළුවේ නොකීවේ බයටද?” ජනපතිට ප්‍රශ්නයක් | VIDEO

යුද අපරාධ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ යුද හමුදාවට දඬුවම් නොකරන බවට රට තුලදී දක්වන අදහස  එක්සත් ජාතීන් හමුවේ ද එයාකාරයෙන්ම කියා නොසිටියේ ඇයිදැයි දෙමළ ජාතික සන්ධානයේ මහජන නියෝජිතයකු ජනාධිපතිවරයාගෙන් විමසයි.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 73 වැනි සැසිවාරය අමතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කළ ප්‍රකාශය නිව්යෝර්ක් නුවර සිට “ඡන්ද ගන්න සිංහල ජනතාව රවට්ටන්න කී කතාවක්” ලෙස දෝෂ දර්ශනයට ලක් කරන පළාත් සභා මන්ත්‍රී එම් කේ සිවාජිලිංගම්,  “මෙහෙ එක වචනයක් – ඇමරිකාවේදී  එක වචනයක්” කියන බවට චෝදනා කළේය.

යුද භටයන් රැකීම වෙනුවෙන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ප්‍රමුඛ රජයේ මැති ඇමතිවරුන් රට තුලදී නිරන්තරයෙන් පෙනී ඉන්නා බව සිහිපත් කළ සිවාජිලිංගම් පළාත් සභා මන්ත්‍රීවරයා, “ඒක එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී ඇමරිකාවේ නිව්යෝර්ක් නගරයේදී ඔබතුමා ඇයි කිව්වේ නැත්තේ බයද?” යි ප්‍රශ්න කර සිටී.

ජගත් නායකත්වය හමුවේ සෘජුව ඒ බව කියා සිටියේ නම් එය ජනාධිපතිවරයාගේ දක්ෂ කමක් ලෙස ගරු කිරීමට දෙමළ ජනතාවට අවස්ථාව උදාවන්නට ඉඩ තිබූ බවද ඔහු ප්‍රකාශ කළේය.

විදේශීය බලපෑමෙන් තොරව තමන්ගේ වැඩ කටයුතු කරගෙන යාමට ඉඩ දෙන ලෙස ජනාධිපතිවරයා එජා සමුළුව හමුවේ කළ ඉල්ලීම සිවාජිලිංගම් මන්ත්‍රීවරයා දකින්නේ දෙමළ ජනතාව ස්වපාලනය වෙනුවෙන් කරන ඉල්ලීම යුක්ති සහගත කරන්නක් ලෙසයි.

“අපිටත් අපේ තීරණ ගන්න උදව් කරන්න එක්සත් ජාතීන්ගෙන් උදව් කරන්න ඉල්ලුවා කියලා තමයි අපි බලන්නේ.”

ජනපතිට තුති

එක්සත් ජාතීන් අමතා කළ කතාවේදී, ජනාධිපතිවරයා කියා සිටියේ දීර්ඝ කාලීන යුද්ධයක අභාග්‍ය සම්පන්න තත්වයකට මුහුණ පා සිටින ශ්‍රී ලංකාවේ ජනතාව දෙයාකාර වේදනාවකින් පීඩාවට පත්ව සිටින බවයි.

“බුදුන් වහන්සේගේ දර්ශනය ඇතුළත් ති‍්‍රපිටකයේ සංයුක්ත නිකායේ 36, 06 කොටසේ සල්ල සූත‍්‍රයේ සඳහන් වෙනවා යම් පුද්ගලයෙකුගේ ශරිරයේ උලක් හෝ කටුවක් ඇනුනොත් ඒ උල සහ කටුව ඇනීමෙන් ඇතිවන වේදනාව වගේම උලක් සහ කටුවක් ඇනුනා කියා මතක් වන විට ඉන් ඇතිවන කම්පාව තවත් වේදනාවක් බව,” යි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කළ උපුටා දැක්වීම සිවාජිලිංගම් මන්ත්‍රීවරයාගේ මහත් ප්‍රසාදයට හේතු විය.

ලක්ෂ ගණන් මරුමුවට පත්වූ දෙමළ ජනතාව විඳින වේදනාව බෞද්ධ චින්තනය පදනම් කොටගෙන එක්සත් ජාතීන්ට පහදා දීම ගැන ජනාධිපතිවරයාට ස්තුතිවන්ත වන බව එම් කේ සිවාජිලිංගම් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Related posts

Comments are closed.

Top