කැලෑ සතුන්ගේ කරදරයෙන් ගැලවෙන්නේ කොහොමද? 011-2872094 අමතන්න


වනසතුන්ගෙන් වන හානි වැළැක්වීමට ක්‍රියාත්මක කළ හැකි විසඳුම් පිළිබඳ යෝජනා ලබාගැනීම සඳහා දුරකථන අංකයක් වෙන්කර තිබේ.

එම යෝජනා 011-2872094 අංකයට දැනුම් දෙන ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශය මහජනතාවගෙන් සහ විද්වතුන්ගෙන් ඉල්ලා සිටී.

ශ්‍රී ලංකාවේ වනගහනයට සාපේක්ෂව සිටිය හැකි සත්වගහනය පිළිබඳව මෙතෙක් අපේ රටේ කිසිදු කලමනාකරණ අධ්‍යයනයක් සිදු කර නැත.

එහෙත් ගොවීන් විසින් වගා කරන බෝගවලට සතුන්ගෙන් සිදුවන හානිය ගත් කල ඉතාමත් ඉහළ මට්ටමක පවතී.

මේ වනවිට සත්ව හානිය නිසා විනාශයට පත්වන අපේ රටේ බෝගවල වටිනාකම රු.කෝටි 1800 ඉක්මවන බවට ගණන් බලා ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව තම වගාවන්ට සිදුවන හානි පිළිබඳ ගොවීන්ගෙන් තොරතුරු ලබාගැනීමේ වැඩපිළිවෙලක් කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ආරම්භ කර ඇත.

මේ වනවිට දිවයිනේ සෑම ප්‍රදේශයකින් ම ගොවීන් විසින් ඔවුන්ට සිදුව ඇති වගා හානි පිළිබඳව තොරතුරු කෘෂිකර්ම අමාත්‍යාංශය වෙත ලබා දෙමින් පවතී.

ඔවුන් විසින් ලබා දී ඇති තොරතුරු අනුව පෙනී යන්නේ වැඩි ම බෝග හානියක් සිදු කරන්නේ, වල් ඌරන්, රිලවුන් සහ වඳුරන් මෙන්ම මොනරුන්, ඉත්තෑවුන් හා වන අලීන් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කරයි.

පොළොන්නරුව ප්‍රදේශයේ ඇතැම් ප්‍රදේශවල බහුල වශයෙන් හම්බාවන්ගෙන් බෝග හානි සිදුවන බව ගොවීහු පවසති.

වනසතුන්ගෙන් වන වගා හානි වළක්වා ගැනීම සඳහා මෙතෙක් අනුගමනය කර තිබෙන සහ ඇතැම් පිරිස් විසින් යෝජනා කරන ලද සියලු උපක්‍රම අසාර්ථක වී ඇති බවද රජය පෙන්වා දෙයි.

එම නිසා මෙම ගැටළුවට ස්ථීර විසඳුමක් ලබා දීම සඳහා ගොවීන් සහ වෙනත් මේ සම්බන්ධව උනන්දුවක් දක්වන පුද්ගලයන්ගෙන් ද අදහස් හා යෝජනා ලබා ගැනීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇත.

Related posts

Comments are closed.

Top