දේශපාලන සිරකරුවන් ඉන්නා බව අධිකරණ ඇමැතිනිය පිළිගන්නේ නෑ | VIDEO

ආයුධ සන්නද්ධ දේශපාලනයේ යෙදීම නිසා වසර ගණනාවක් තිස්සේ සිරකොටගෙන සිටින පනහකට වැඩි පිරිසක් නිදහස ඉල්ලා බන්ධනාගාර තුල උපවාසයක යෙදී සිටින අවස්ථාවක ඔවුන්දේශපාලන සිරකරුවන් ලෙස පිළිගැනීම අධිකරණ අමාත්‍යවරිය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

දේශපාලන සිරකරුවන් නැතැයි අමාත්‍ය තලතා අතුකෝරළ මාධ්‍යවේදීන් හා දැඩි ලෙස ප්‍රකාශ කර ඇත්තේ මහනුවර අධිකරණයේ නීතිඥ සංගමය සමග මහනුවරදී පැවති සාකච්ඡාවකින් අනතුරුව ය.

“මේ රටේ දේශපාලන සිරකරුවන් කොහේද දේශපාලන සිරකරුවෝ ඉන්නේ? කවුද එහෙම දේශපාලන සිරකරුවන් ඉන්නවැයි කියන්නේ?” යි ඇය මාධ්‍යවේදීන් ගෙන් පෙරලා ප්‍රශ්න කර ඇත්තේ බන්ධනාගාර තුල උද්ඝෝෂණ වල නිරත රැඳවියන් සම්බන්ධයෙන් කළ විමසීමකදීය.

සති තුනකට ඉහතදී අනුරාධපුර බන්ධනාගාරයෙන් ආරම්භ වූ එල්ටීටීඊ සැකකාර දෙමළ සිරකාර උපවාසයට මේ වනවිට කොළඹ මැගසින් බන්ධනාගාරයේ 40 කට වැඩි පිරිසක් ඇතුළු 52 ක් එක්ව සිටින බව බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය පවසයි.

ඔවුන්ට යුක්තිය සැලසීමේ අත්‍යාවශ්‍ය සාධකයක් වන්නේ ඔවුන් දේශපාලන සිරකරුවන් බව පිළිගැනීම බව දේශපාලන සිරකරුවන් රැකගැනීමේ ජාතික ව්‍යාපාරය අවධාරණය කර තිබේ.

උපවාසික පිරිස සිරකොට තබා ඇත්තේ මර්දනකාරී නීතියක් ලෙසින් දේශීය හා ජාත්‍යන්තර වශයෙන් දැඩි ලෙස හෙලා දැකීම නිසා අහෝසි කිරීමට නියමිතව තිබෙන ත්‍රස්තවාදය වැළක්වීමේ උපයෝගී කරගෙන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යවරිය පිළිගනී.

“දේශපාලන සිරකරුවෝ නෑ. උද්ඝෝෂණය කරලා තියෙනවා. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගන්න සැකකරුවන් 2009 ඉදලා ඉන්න පිරිසක් ඉන්නවා,” යි අමාත්‍ය තලතා අතුකෝරළ පවසා තිබේ.

“ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් අත් අඩංගුවට අර ගෙන ඒගොල්ලෝ විසින් වරද කළැයි කියලා භාර ගන්න කොටසක් සම්බන්ධවයි, මේ නඩු කටයුතු කෙරීගෙන යන්නේ.”

ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධ යෙන් අගමැති, නීතිපති, විපක්ෂ නායක හා එම් ඒ සුමන්දිරන් මන්ත්‍රීවරයා අතර විශේෂ සාකච්ඡාවක් පවත්වන ලද බව අමාත්‍යවරිය වැඩි දුරටත් කියා සිටියාය

රජය විසින් එම සාකච්ඡාවේදී  දැනුම් දුන් පරිදි ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ සිරකරගෙන ඉන්නා සියයකට අධික පිරිස අතරින් වරද පිළිගෙන ඇත්තේ දෙදෙනකු පමණක් බවයි දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී එම් ඒ සුමන්දිරන් ප්‍රකාශ කරන්නේ.

එම දෙදෙනාට සුළු දඬුවමක් දී පුනරුත්ථාපනයට යෙදවීම රජයේ අපේක්ෂාවයි.

තවත් නඩු කටයුතු 46 ක් සම්බන්ධයෙන් තීරණ ගත යුත්තේ අධිකරණය විසින් බව රජය ප්‍රකාශ කොට තිබේ.

දැනටමත් දඬුවම් පමුණුවා ඇති පනස් පස් දෙනකුට නිදහස දීම සම්බන්ධයෙන් තීරණයක් ගත යුත්තේ ජනාධිපතිවරයා බව ගගන කළ විමසීමකදී එම් ඒ සුමන්දිරන් මන්ත්‍රීවරයා කියා සිටියේය.

කෙසේවෙතත්, දේශීය මෙන්ම ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානද අවධාරණය කරන්නේ දේශපාලනයක යෙදීම හේතුකොටගෙන සිරගත කර ඇති දෙමළ සිරකරුවන් සම්බන්ධයෙන් ගත යුත්තේ දේශපාලන ස්ථාවරයක් විනා නීතිමය තීන්දුවක් නොවන බවයි.

Related posts

Comments are closed.

Top