විජයකලා රිමාන්ඩ් කිරීමේ පොලිස් ඉල්ලීම උසාවිය ඉවත දමයි | VIDEO

කාන්තාවන්ට හා දරුවන්ට නිදහසේ ජීවත් වීම සඳහා එල්ටීටීඊ පාලනයක අවශ්‍යතාව ප්‍රකාශයට පත් කිරීම  නිසා අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවනු ලැබූ  හිටපු ළමා කටයුතු රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන් රිමාන්ඩ් භාරයට පමුණුවන ලෙස පොලිසිය කළ ඉල්ලීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

පසුගිය මාසයේ යාපනයේ වීරසිංහම් ශාලාවේ පවත්වන ලද රාජ්‍ය උත්සවයකදී හිටපු ඇමැතිනිය කියා තිබුනේ 2009 මැයි මස 18 වනදාට පෙර දෙමළ ජනතාව නිදහසේ ජීවත් වූ බවයි.

“අප ජීවතුන් අතර සිටීමට නම්, අපට මහ මග නිදහසේ ඇවිදීමට නම්, අපගේ දරුවන් පාසල් වෙත ගොස් නැවත නිවසට පැමිණිය යුතු විමට නම්, උතුරු නැගෙනහිර පළාත්වල එල්ටීටීඊ පාලනයක් ඇතිවිය යුතුයි,” යනුවෙන් ඇය පවසා තිබුනි.

ඒ සම්බන්ධයෙන් සිහල රාවය සංවිධායක මාගල්කන්දේ සුදන්ත හිමියන් විසින් කරන ලද පැමිණිල්ලකට අනුව පරීක්ෂණ ආරම්භ කර ඇති බව සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අධිකරණයට දැනුම් දෙන ලදී.

එම කොට්ඨාශය භාර නියෝජ්‍ය පොලිස්පති කමල් සිල්වා අධිකරණයෙන් ඉල්ලා සිටියේ නීතිපති උපදෙස් පරිදි  අත්අඩංගුට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද හිටපු අමාත්‍යවරිය රිමාන්ඩ් භාරයට පත් කරන ලෙසයි.

එසේ වෙතත්, ඒ ඉල්ලීම යුක්ති සහගත කරන සුවිශේෂී හේතුවක් අධිකරණය හමුවේ ඉදිරිපත් කිරීමට නියෝජ්‍ය පොලිස්පති වරයා අසමත් විය.

විජයකලා මහේෂ්වරන් මන්ත්‍රීවරිය රිමාන්ඩ් භාරයට පත් කිරීම ප්‍රතික්ෂේප කරමින් රුපියල් ලක්ෂ පහක ශරීර ඇපයක් මත සැකකාරිය මුදා හල කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක පැමිණිල්ල නැවත දෙසැම්බර් මස 7 දා කැඳවීමට නියම කළේය.

ජනාධිපති නීතිඥ අනිල් සිල්වා සහ අධිනීතිඥ කේ වී තවරාසා සැකකාරිය වෙනුවෙන් පෙනී සිටියහ.

ආන්දෝලනයකට තුඩු දුන් සිය ප්‍රකාශයට එරෙහිව සිංහල ජාතිකවාදී කණ්ඩායම් වලින් මෙන්ම එක්සත් ජාතික පක්ෂය තුලින්ද දැඩි විරෝධයක් මතුවීමෙන් අනතුරුව විජයකලා මහේෂ්වරන් මන්ත්‍රීවරිය රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වූවාය.

 

Related posts

Comments are closed.

Top