උතුරේ ආණ්ඩුකාරයාට ලන්ඩන් විරෝධතා, අයෙක් අත් අඩංගුවට | VIDEO

බ්‍රිතාන්‍යයේ සංචාරයක යෙදී සිටින ශ්‍රී ලංකාවේ උතුරේ ආණ්ඩුකාරයාට එරෙහිව ලන්ඩනයේ දියත් කළ විරෝධතාවකට සහභාගි වූ  දෙමළ ක්‍රියාධරයකු පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ විසින් සති අන්තයේ ඇමතීමට නියමිතව තිබූ රැස්වීම් කිහිපයක්ම දෙමළ විරෝධතා හේතුවෙන් අවලංගු කරන ලද පසු සාකච්ඡාවක් සංවිධානය කර තිබූ ලන්ඩනයේ ඉන්දීය තරුණ ක්‍රිස්තියානි සංගම් ශාලාව ඉදිරිපිට තරුණ තරුණියන් විශාල පිරිසක් සහභාගි වූ උද්ඝෝෂණයක් පැවැත්විනි.

දේශපාලන සිරකරුවන් නිදහස් කරනු, කුරේ ආපසු කොළඹ යනු, හමුදාකරණය අත් හිටවනු ආදී සටන් පාඨ එහිදී හඬ නැගුනි.

“දෙමළ යුද පීඩිතයන්ට සලකනු වෙනුවට යුද අපරාධ සහ මානව වර්ගයාට එරෙහි අපරාධ වලට එක්සත් ජාතීන්ගේ චෝදනා නැගී ඇති ශ්‍රී ලංකා යුද හමුදාවේ මහ පිරිසක් උතුරේ රඳවා තබා ගැනීමට පහසුකම් සලසන” ජනාධිපතිගේ නියෝජිත උතුරේ ආණ්ඩුකාරයාට විරෝධය පල කරන බව සංවිධායකයන් විසින් බෙදා හරින ලද පත්‍රිකාවක සඳහන් විය.

උතුරේ සිංහල ජනාවාසකරණයට ඉඩ සලසමින් එහි පාරම්පරික දෙමළ වැසියන් සුළුතරයක් බවට පත් කිරීමේ වෑයමක නිරත වන බවටද එහි චෝදනා කර තිබුනි.

විරෝධතා කරුවන් මාර්ගයට පිවිසීම වැලැක්වූ ලන්ඩන් අගනාගරික පොලිසිය සමග බහින් බස් වූ ශංකර් නමින් හඳුන්වන නවරත්නරාසා ගුණසේකරන් අත් අඩංගුවට ගන්නා ලද බව සංවිධායකයෝ පවසති.

Related posts

Comments are closed.

Top