මහවැස්සෙන් හා සුළඟින් නමයක් මරුට

අකුරණ, ඔක්තෝබර් 6, 2018

සතියක් තිස්සේ පැවති පීඩාකාරී කාලගුණය නිසා නම දෙනකු මරුමුවට පත්වී එක් අයකු අතුරුදහන් වී ඇත.

පුද්ගලයන් මියගොස් ඇත්තේ සැඩ පහරට හසුවීම නිසා බව පවසන ආපදා කළමනාකාර බලධාරීහු ගංවතුර නැරඹීමට යාමෙන් හා දියට බැසීමෙන් වලකින ලෙස ඉල්ලා සිටිති.

විශේෂයෙන්ම ගංවතුර හෝ ජල ගැලීම්, සැඩ පහරවල් තිබෙන ස්ථාන වලින් ගමන් කිරීම එහෙම නැතිනම් ඒවා නැරඹීමට යාමෙන් වලකින ලෙස අපි ඉල්ලා සිටිනවා,” යි  සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි කියා සිටියේය.

සඳුදා සවස් යාමය වනවිට ආපදාවට ලක්වී සිටින පනස් දහසකට ආසන්න පිරිස අතරින් පවුල් 1,318 ක පුද්ගලයන් 5,834 ක් තාවකාලික ආරක්ෂක ස්ථාන වල රඳවා තිබෙන බව පවසන ඔහු ඒ සැම පවුලකටම රුපියල් දසදහස බැගින් ලබා දී ඇතැයි නිවේදනය කරයි.

කළුතර, ගාල්ල, කෑගල්ල හා බදුල්ල දිස්ත්‍රික්ක වල නායයාම් අවදානම් ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අනතුරු අඟවා තිබේ.

බස්නාහිර,වයඹ, මධ්‍යමසහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි හටගනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය මේ වනවිට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී  ඇති හෙයින් දිවයිනේ පවතින වැසි තත්වය ඔක්තෝබර් 9 සහ 10 දෙදින තුල තවදුරටත් වර්ධනය වේයැයි අපේක්ෂිතය.

කළු සහ ගිං ගංගා වල ජල මට්ටම් ඒ සමග ඉහල යා හැකි බවට අනතුරු අඟවන ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි, අවදානම් සහ පැමිණිලි දැනුම් දීම සඳහා 117 සහ 011 267002 යන අංක අමතන මෙන් ඉල්ලා සිටී.

Related posts

Comments are closed.

Top