උතුරේ දමා ආ බුදු පිළිම වලට තාර ගෑවේ දකුණින් ගිය අයදැයි සැකයක් | VIDEO

යාපනයේ නාග විහාරය

ශ්‍රී ලංකා යුද හමුදාව කඳවුරු හැර එන විට ඉතිරි කර ආ ඇතැම් බුදු පිළිම වල තාර ගා කෙලෙසන්නට ඇත්තේ උතුරේ ජනතාවට හාතුරු මතයක් තහවුරු කර ගැනීමේ අවශ්‍යතාවෙන් පෙලෙන දකුණින් යන පිරිස්ද යන සැකය පාර්ලිමේන්තුව තුලදී මතුවී තිබේ.

භික්ෂුන් වහන්සේලාගේ උපදෙස් නොතකා යුද හමුදාව විසින් පිහිටුවන ලදුව කඳවුරු අකුලාගෙන එන විට එහි දමා ආ ස්ථිර බුදු පිළිම මෙම හානියට ගොදුරු වී ඇති බව උතුරු නැගෙනහිර සංචාරයක යෙදී සිටියදී  තමන්ට පෞද්ගලිකවම දැකගන්නට ලැබුනු බව සංස්කෘතික කටයුතු භාර අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

පිළිම කෙලෙසන බව්වට උතුරේ ජනතාවට එරෙහි මතයක් දකුණේ ගොඩනැගීම සඳහා මෙහි යටි අරමුණ බව ඇමැතිවරයාගේ  විශ්වාසයයි.

“සමහර වෙලාවට අපි විශ්වාස කරනවා දකුණෙන් ගියපු සමහරු හිතා මතාම තා‍ර විසිකරලා පොටෝ ගහලා ගෙනල්ලා දකුණේ පෙන්නනවා උතුරේ බුදු පිළිමයක්වත් තියාගන්න දෙන්නේ නැති තත්වයක් තියෙන්නේ කියලා,” යි අමාත්‍ය විජයදාස රාජපක්ෂ කියා සිටියේය.

යුද හමුදාව විසින් කඳවුරු තුල ස්ථිර බුදු පිළිම ඉදි කරන ලද්දේ බෞද්ධ භික්ෂු බල මණ්ඩලවල නායක ස්වාමීන් වහන්සේලා ඊට විරුද්ධතාව පල කර තිබියදී බවත් ඇමැතිවරයා පවසයි.

Related posts

Comments are closed.

Top