භාරකාර ආණ්ඩු හැදීම “බහුබූත විලම්බීත” කතාවක්: ෆොන්සේකා | VIDEO

මහ මැතිවරණයෙන් වැඩිම ආසන සංඛ්‍යාවක් දිනාගත් එක්සත් ජාතික පක්ෂය සමග තුන් අවුරුද්දක්  පවත්වාගෙන ආ වර්තමාන සම්මුති ආණ්ඩුව වෙනුවට රාජපක්ෂවාදීන් හා එක්ව බලය පවත්වාගෙන යාම සඳහා ජනාධිපතිවරයා විසින් දරනු ලබන බවට වාර්තා වී ඇති උත්සාහය ද්‍රෝහී කමක් ලෙස හිටපු හමුදාපති වරයාගෙන් ප්‍රහාරයක් එල්ල වී තිබේ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන “ඒ පුටුවේ ඉන්දවූ” එක්සත් ජාතික පක්ෂය අතහැර වෙනත් පක්ෂ සමග භාරකාර ආණ්ඩු හැදීම “සදාචාර විරෝධී කටයුත්තක්” ලෙස අමාත්‍ය සරත් ෆොන්සේකා විසින් හෙලා දකින ලද්දේ සිය අමාත්‍යාංශයේ දී මාධ්‍යවේදීන් පිරිසක් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමිනි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පාර්ශවය සහ මහින්ද පාර්ශවය එක්වී ආණ්ඩුවක් හැදීම “බහුබූත විලම්බීත කතාවක්” ලෙස බැහැර කළ ඔහු ඊට විපක්ෂයේ ඉන්නා දෙමළ ජාතික සන්ධානයේ හෝ ජනතා විමුක්ති හෝ සහයද නොලැබෙනු ඇති බවට විශ්වාසය පල කළේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මුණගැසුනු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, දෙපිල සමාදාන වී ශ්‍රීලනිප ආණ්ඩුවක් පිහිටුවීම ගැන සාකච්ඡා පැවැත්වූ බවට කොළඹින් පල කෙරෙන සියලුම ප්‍රධාන පෙළේ ජනමාධ්‍ය මගින් කර ඇති හෙළිදරව්ව ඒ දෙදෙනාගෙන් කිසිවකුත් නිල වශයෙන් ප්‍රතික්ෂේප කර නැත.

පොදු අපේක්ෂකයන් බලයට පත් කිරීම මගින් අපේක්ෂිත අරමුණු ඉටු කරගත නොහැකි බව අත්දැකීම් විසින් තහවුරු කර ඇති බව දක්වමින් වර්තමාන ජනාධිපතිවරයාට වක්‍ර මාර්ගයෙන් අප්‍රසාදය පල කළ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අගමැති රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් ඉවත් කොට ඒ වෙනුවට ආදේශ කළ හැකි නායකත්වයක් සම්බන්ධයෙන් පළ කළේ සැකයකි.

රනිල් වික්‍රමසිංහ ඉවත් කර එම ස්ථානයට පත් කරන යමෙක් වේ නම්, “ඉන්න නායකයාට වඩා විශ්වාසය තැබිය හැකි පුද්ගලයෙක්”  විය යුතු බව ඔහු අවධාරණය කළේය.

Related posts

Comments are closed.

Top