රහස් පොලිස් පරීක්ෂණ වලට සහාය නොදෙන බවට ජනපතිට චෝදනා | VIDEO

සාපරාධී මනුෂ්‍ය ඝාතන සම්බන්ධ පරීක්ෂණ සඳහා අවශ්‍ය වී සිටින අයකු ආරක්ෂක සේවාවේ ඉහල නිලයකට පත්කොට රැකවරණ සලසන බවට ජනාධිපතිවරයා  වර්තමාන ආණ්ඩුවේ ජයග්‍රහණය සඳහා කැපවූ සංවිධානයක දැඩි දෝෂ දර්ශනයට ලක්වී සිටී.

පසුගිය ආණ්ඩු සමයේ කොළඹ සහ ඒ අවටින් එකොලොස් දෙනකු පැහැරගෙන ගොස් නාවික හමුදා කඳවුරු තුල වදදී ඝාතනය කරන ලද බවට සැක කෙරෙන නිලධාරියකු අධිකරණයෙන් වසං කළ බවට චෝදනා ලබන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා රහස් පොලිසිය විසින් පවත්වනු ලබන පරීක්ෂණ වලට ඉදිරිපත් නොකර සිටින බවට සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය ජනාධිපතිවරයාට චෝදනා කරයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන සඳහා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්න කැඳවා තිබුනේ පසුගිය මාසයේ 10 වැනිදාය.

ඒ සඳහා නොගොස් ශ්‍රී ලංකාවේ නියෝජිතයකු ලෙස මෙක්සිකෝවේ රාජ්‍ය උත්සවයකට යවනු ලැබූ අද්මිරාල් විජේගුණරත්න පෙරලා පැමිණ මසක් ගතවීත් සිය කටඋත්තරය ලබා දී නොමැත.

“මේ ක්‍රියාවලිය අපි දැඩි ලෙස පිළිකුලෙන්  හෙලා දකිනවා,” සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ මහාචාර්ය සරත් විජේසූරිය කොළඹදී මාධ්‍යවේදීන් අමතා කියා සිටියේය.

“ජනාධිපතිවරයා නීතියට ගරු  කරන කෙනෙක් නම් ඒ සාපරාධී මනුෂ්‍ය ඝාතන වලට අදාළ පුද්ගලයන් සේනාධිනායකයා හැටියට අධිකරණය හමුවා පැමිණවීමට කටයුතු කළ යුතුයි.”

දිගු කලක් අත්අඩංගුවේ රඳවාගෙන සිටින දේශපාලන සිරකරුවන් ගේ නඩු අසා රජය විසඳුමක් ලබා දිය යුතු බවත් මහාචාර්ය විජේසූරිය අවධාරණය කළේය.

Related posts

Comments are closed.

Top