මන්නාරම සමූහ මිනී වලේ ඇටසැකිලි ගණන 185 දක්වා ඉහලට | VIDEO

අනූපස් දිනක් කැනීම් සිදු කිරීමෙන් අනතුරුව මන්නාරම සතොස සමූහ මිනීවලෙන් ගොඩගත් මිනිස් ඇටසැකිලි සංඛ්‍යාව 185 දක්වා ඉහල ගොස් තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාවේ මේතාක් හෙලිකරගන්නා ලද විශාලතම සමූහ මිනීවල බවට එය පත්වෙයි.

කාන්තාවන්, පිරිමින් මෙන්ම අඩුම වශයෙන් බාල දරුවන් 14 දෙනකුගේද සිරුරු ඒ අතර වෙයි.

තවමත් විමර්ශන හමාර කොට නොමැති සතොස සමූහ මිනීවලේ ඇති සිරුරු පිළිබඳව පලවන විවිධ අදහස් විශ්වාසයට නොගන්නා ලෙස මහජනතාවට අනතුරු අඟවන පරීක්ෂණ භාර ප්‍රධාන වෝහාරික විශේෂඥයා තමන්ද තවමත් ඒ ගැන අවසාන නිගමනයකට එළැඹ නැති බව කියා සිටී.

“සම්පුර්ණ විශ්ලේෂණය  කිරීමෙන් සම්පූර්ණ පරීක්ෂාවකින් පස්සේ තමයි මගේ වාර්තාව අධිකරණයට ලබා දෙන්න පුළුවන්,” යයි අධිකරණ වෛද්‍ය නිලධාරී සමින්ද රාජපක්ෂ වෛද්‍යවරයා මාධ්‍යවේදීන්ට කියා සිටියේය.

ගොඩගෙන ඇති අස්ථි නියැදි කාල නිර්ණය සඳහා ඇමරිකා එක්සත් ජනපදයේ පර්යේෂණාගාරයක් වෙත යැවීමට අධිකරණ අනුමැතිය ලැබී ඇති බව ඔහු වැඩි දුරටත් පවසා තිබේ.

මීට පෙර ශ්‍රී ලංකාවෙන් හමුවූ විශාලතම සමූහ මිනීවල ලෙස පැවතියේ මිනිස් සිරුරු 155 ක් හමුවූ මාතලේ රෝහල් භුමියේ සුසානයයි.

Related posts

Comments are closed.

Top