වාඩිලා ගත් අනුන්ගේ ඉඩම් හැර යාමට ආරක්ෂක අංශ සල්ලි ඉල්ලයි | VIDEO

නාවික හමුදාව අල්ලා ගෙන සිටි ඉඩම් වල නැවත පදිංචියට ගිය මුල්ලිකුලම් වැසියන්ගේ පැල්පත් වලට කඩා වදින වන අලි

වාඩිලාගෙන සිටින උතුරු නැගෙනහිර පුද්ගලික ඉඩම් මේ වසර අවසානය වීමට පෙර මුල් අයිතිකරුවන්ට බාර දෙන ලෙස ජනාධිපතිවරයා දී ඇති නිර්දේශය ක්‍රියාත්මක කිරීමට රජයේ ආරක්ෂක අංශ මුදල් ඉල්ලීම බාධාවක් වී තිබේ.

වසර ගණනාවක් තිස්සේ යුද, නාවික හමුදා සහ පොලිසිය විසින් අත්පත් කරගෙන සිටින අන්සතු භූමියෙන් ඉවත් වීමට මුදල් ඉල්ලා සිටින බව හෙළිවූයේ ඔක්තෝබර් 16 අඟහරුවාදා යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දිස්ත්‍රික් ලේකම් නාගලිංගම් වේදනායගම්ගේ මෙහෙයැවීමෙන් පැවති සාකච්ඡාවකදීය.

උතුරු නැගෙනහිර ජනතාවට නීත්‍යානුකූලව හිමි ඉඩම් දෙසැම්බර් 31 දාට මත්තෙන් “සියලු ගැටලු නිරාකරණය කර ගනිමින්” නිදහස් කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මේ මස 3දා පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවති උතුරු හා නැගෙනහිර පළාත් සංවර්ධනය පිළිබඳ පත්කළ ජනාධිපති කාර්ය සාධන බලකා රැස්වීමේදී උපදෙස් දී තිබුනි.

ජනාධිපති උපදේශය ක්‍රියාත්මක කිරීම සඳහා ඉඩම් මිලට ගැනීමටත්, අලුත් ඉදිකිරීම් සඳහාත් ප්‍රතිපාදන නොමැති බව යාපනය දිසා ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී හමුදා සහ පොලිස් බලධාරීන් විසින් දැනුම් දෙන ලදැයි දෙමළ ජාතික සන්ධානය පවසයි.

“වෙනත් ස්ථාන වලට යන්න සහ අලුතින් ගොඩනැගිලි හදන්න ආණ්ඩුව සල්ලි දුන්නොත් යන්න පුළුවන් කියලා ඔවුන් පවසනවා,” යි සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍යවේදීන් හමුවූ එම් ඒ සුමන්දිරන් මන්ත්‍රීවරයා කියා සිටියේය.”

ඒ සඳහා රජයේ ආරක්ෂක අංශ මුදල් ඉල්ලීමට බලාපොරොත්තු වන්නේ පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශයෙනි.

යුද්ධයෙන් අත්පත් කරගත් උතුරු නැගෙනහිර ජනතාවගේ ඉඩම් හැර යාම සඳහා පුනරුත්ථාපන අමාත්‍යාංශය මීට ඉහතදීද ආරක්ෂක අංශ වලට කෝටි ගණනින් මුදල් ලබා දී තිබුනි.

මුලතිව් දිස්ත්‍රික්කයේ කේපාපුලව් හි අක්කර 130 කට මදක් වැඩි භූමි භාගයක් අතහැර යාමට පුනරුත්ථාපන අමාත්‍යාංශය යුද හමුදාවට රුපියල් මිලියන 148 ක් ලබා දී තිබුනි.

අමාත්‍යාංශ ලේකම් පොන්නයියා සුරේෂ් අප්‍රේල් මාසයේ තෙල්ලිප්පලෙයි හිදී ප්‍රකාශ කොට තිබු පරිදි ඉඩම් අක්කර 530 ක් හැර යාමට යුද හමුදාව ඉල්ලා ඇති මුදල රුපියල් මිලියන 880 කි.

මුදල් නොගෙන අල්ලා ගත් ඉඩම් හැර යා නොහැකි බව ශ්‍රී ලංකා යුද හමුදාවද තහවුරු කර තිබුනි.

“අපේ යටිතල පහසුකම් ඉදිකර තිබෙන භූමිය ඉක්මනින් නිදහස් කිරීමේ බාධා තියෙනවා. ඒවා නැවත ඉදිකිරීමට අවශ්‍ය ප්‍රතිපාදන ලැබී ඒ අනුව අවශ්‍ය ඉදිකිරීම් කිරීමෙන් අනතුරුව එම ඉඩම් ද නැවත ලබා දෙන්න පුළුවන්,” යුද හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු බීබීසීයට පවසා තිබුනි.

යුද්ධයෙන් උන්හිටි තැන් අහිමි කරන ලද උතුරු නැගෙනහිර ජනතාවගේ නැවත පදිංචිය හා ගොඩනැගිලි ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා යෙදවිය යුතු මුදල් රජයේ ආරක්ෂක අංශ වල අවශ්‍යතා සඳහා යොදාගැනීම ගැන දෙමළ ජාතික සන්ධානය යාපනයේ පැවති ඉඩම් සාකච්ඡාවේ දී විරෝධය පළකර තිබේ.

“හමුදාවට මොන නැවත පදිංචියක්දැ” යි සුමන්දිරන් මන්ත්‍රීවරයා මාධ්‍යවේදීන් හමුවේ කරුණු දක්වමින් පැවසීය.

වාඩිලාගෙන සිටින භූමියේ පවත්වාගෙන යන ව්‍යාපාර වලින් උපයන ලාභය අලුත් ස්ථානයකට යාම සඳහා යොදාගත නොහැකිදැයි උතුරේ මාධ්‍යවේදියකු කළ විමසීමකට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ, ආරක්ෂක අමාත්‍යාංශයට ලැබෙන එම මුදල් ඉල්ලා ගැනීම හමුදාවේ වගකීමක් බවයි.

ශ්‍රී ලංකා රජයේ ආරක්ෂක අංශ උතුරු නැගෙනහිර ඉඩම් අල්ලා ගෙන සිටීමේ මූලික අරමුණ වෙළෙඳ ව්‍යාපාර වලින් ලාබ ඉපැයීම බව ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයක් විසින් සවිස්තර වාර්තාවකින් හෙළිදරව් කර තිබුනේ ගිය සතියේය.

දෙසැම්බර් 31 දා ට පෙර පුද්ගලික ඉඩම් නිදහස් කිරීමේ ජනපති නිර්දේශය ක්‍රියාත්මක කිරීම සඳහා යොදන වැඩපිළිවෙල කුමක්දැයි කාල සටහනක්ද සහිතව නොවැම්බර් 8 දාට රැස්වන උතුරු හා නැගෙනහිර පළාත් සංවර්ධනය පිළිබඳ පත්කළ ජනාධිපති කාර්ය සාධන බලකාය හමුවේ ඉදිරිපත් කිරීමට ආරක්ෂක අංශ බලධාරීන් සහතික වූ බව එම් ඒ සුමන්දිරන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Related posts

Comments are closed.

Top