ප්‍රගීත් එක්නැලිගොඩ “අතුරුදහන් කළ යුතුම අයෙක්”: සරසවි සිසුන් | VIDEO

රාජපක්ෂ පාලන සමයේ අතුරුදහන් වූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ “අතුරුදහන් කළ යුතුම අයෙක්” ලෙස ගරහන උපාධි අපේක්ෂකයන් කණ්ඩායමක් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පැවැත්වීමට නියමිතව තිබූ ඡායාරූප ප්‍රදර්ශනයක් තර්ජනයෙන් තහනම් කර ඇත.

පේරාදෙණි මහා ශිෂ්‍ය සංගමය සහ සාහිත්‍ය අනුකමිටුව විසින් සංවිධානය කර තිබූ ‘මාගේ දේශය අවදිකරනු මැන’  නම් මේ වසරේ ශිෂ්‍ය සාහිත්‍ය උළෙලට සමගාමීව විකල්ප වෙබ් අඩවිය ඔක්තෝබර් මස 16 සිට 18 දක්වා #UNFRAMED ඡායාරූප ප්‍රදර්ශනය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පැවැත්වීමට සංවිධානය කර තිබුනි.

‘පශ්චාත් යුද ශ්‍රී ලංකාව  – යුක්තිය සහ ජීවිතය වෙනුවෙන්’ යන තේමාව මුලික කොට ගත්  ප්‍රදර්ශනය මේ වනවිට වාර 4 ක් කොළඹ, මිගමුව, මාතර හා අනුරාධපුර යන නගර කේන්ද්‍ර කරගනිමින් පවත්වා ඇතැයි විකල්ප වෙබ් අඩවිය පවසයි.

මානව හිමිකම් උල්ලංඝන හා ඊට එරෙහිව යුක්තිය සොයා යමින් කෙරෙන අරගල ප්‍රදර්ශනයේ ඡායාරුප වල සටහන් වී ඇත.

ඊට එරෙහිව සමාජ මාධ්‍ය ජාල ඔස්සේ   “ විවිධ අන්දමේ වෛරී ප්‍රකාශ සිදු කර තිබූ අතර මරණ තර්ජනයන්ට ද සමාන” සංවිධානාත්මකව ප්‍රහාරයක් දියත් කෙරුනු බව එහි ප්‍රධාන සංස්කාරක සම්පත් සමරකෝන්  ප්‍රකාශ කරයි.

ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ප්‍රදර්ශනය පැවැත්වීමට නියමිත මුල් දිනයේ කැඳවන ලද රැස්වීමකට පැමිණි ශිෂ්‍ය කණ්ඩායමක් දෙමළ ජනතාව විඳින පීඩාව සහ මානව හිමිකම් උල්ලංඝන සම්බන්ධ ඡායාරූප ප්‍රදර්ශනය කිරීම ට එරෙහි වී තිබේ.

“ප්‍රදර්ශනය එල්ටීටීඊ යට සම්බන්ධ බවත්, රාජ්‍ය නොවන සංවිධානකට සම්බන්ධ බවත්, විශේෂයෙන් මෙහි දෙමළ මිනිසුන්ගේ ඡායාරූප බොහෝමයක් හා  එක්නැළිගොඩ වැනි අතුරුදහන් කළ යුතුම අයගේ ඡායාරූප ඇති බවත් ඒ නිසා තම විශ්ව විද්‍යාලයේ මෙය කිසිසේත්ම පෙන්විය නොහැකි බවත් පවසමින්  ජාතිවාදී ලෙස විරෝධය දක්වන ලදැ,” යි සම්පත් සමරකෝන් මාධ්‍යවේදියා  කියා සිටී.

විශ්ව විද්‍යාල උපාධි අපේක්ෂක විරෝධය නිසා අන්තිමේදී ප්‍රදර්ශනය අත් හිටුවන්නට සිදුවී තිබේ.

මෙය “ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල ප්‍රඥාවන්තයන්ගේ දැනුමේ දුගී භාවය,” ප්‍රදර්ශනය කරන අවස්ථාවක් ලෙස හෙලා දකින විකල්ප සංස්කාරක සම්පත් සමරකෝන් ඒ තත්වය වෙනස් කිරීමට මැදිහත් වන ලෙස ශිෂ්‍ය සංගම්වලින් ඉල්ලා සිටී.

Related posts

Comments are closed.

Top