වතුකම්කරු සටනට සහාය දෙන ලෙස හිමිනමකගෙන් ආගමික නායකයන්ට ඉල්ලීමක් | VIDEO

වැඩි වැටුප් ඉල්ලා වතුකරය පුරා ගෙනයන අරගලයට සහාය දීමට පෙරට එන ලෙස බෞද්ධ භික්ෂුන් වහන්සේ නමක් ආගමික නායකයන්ගෙන් ඉල්ලා සිටිති.

දිනපතා අවම වැටුප රුපියල් දහසක් දක්වා ඉහල නංවන ලෙස බලකරමින් වතුකරයේ කම්කරුවන් දින ගණනාවක් පුරා උද්ඝෝෂණ පැවැත්වුවත් වතු හිමියන් එකඟ වී ඇත්තේ දැනට ගෙවන දිනක රුපියල් 500 වැටුප තවත් රුපියල් සියයකින් වැඩි කිරීමට පමණි.

නිසි ලෙස පඩි නොලබන දෙමළ වතු කම්කරුවන් අඩු වැටුපට විඳින දුක ඔවුන් මහත් වේදනාවට පත් කර ඇති බව පවසන බලංගොඩ ඕලුගස්තොට ඉහළ මණ්ඩාවල සුධර්මාරාම විහාරාධිකාරී හිමියෝ පන්සල්, කෝවිල් සහ දේවස්ථාන වලින් පිටතට පැමිණ වැටුප් වැඩි කරගැනීමට සහාය වන ලෙස ඉල්ලා සිටිති.

“දුක් විඳලා මහන්සි වෙලා, ලේ වැක්කෙරෙන කල් කූඩැල්ලෝ කකා අව්වේ වේලිලා වැස්සේ තෙමිලා අපේ රට දියුණු කරන,” ජන කොට්ඨාශයකට දවසකට දාහක් දෙන්න බැරි ඇයිදැයි බගවන්තලාවේ රාහුල හිමියෝ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පණිවිඩයක් නිකුත් කරමින් විමසති.

සතියකට ඉහතදී බිඳ වැටුනු වතු හිමියන් සහ වතු ඒකාබද්ධ වෘත්තිය සමිති අතර සාකච්ඡා නැවත ආරම්භ කරන ලෙස හාම්පුතුන්ට නිර්දේශ කළ වග අගමැති වරයා විසින් දැනුම් දෙන ලදැයි ලංකා වතු කම්කරු කොන්ග්‍රසයේ උප සභාපති එස් අරුල්සාමි මාධ්‍යවේදීන්ට පවසා තිබේ.

වතු හාම්පුතුන්ගේ තර්කය වී ඇත්තේ ලෝක වෙළදපොළේ ශ්‍රි ලංකාවේ තේ වලට පවතින අභියෝග සහ තේ කිලෝවක් නිෂ්පාදනයට වැයවන පිරිවැයත් හමුවේ වතුකම්කරුවන් ඉල්ලා සිටින පරිදි වැටුප් වැඩි කළ නොහැකි බවයි.

වතු කම්කරු වැටුප් අරගලයට සහාය දක්වමින් සති අන්තයේ යාපනයේද උද්ඝෝෂණයක් පැවැත්විනි.

Related posts

Comments are closed.

Top