සාමසාධක සෙනෙවියා ආපසු එවීමේ හේතුව “ශ්‍රී ලංකාවේ යුද අපරාධ චෝදනා”

සාමසාධක රාජකාරියේ යෙදී සිටි ශ්‍රී ලංකා හමුදා නිලධාරියකු එක්සත් ජාතීන් විසින් පෙරලා සියරට බලා යැවීමට බල පා ඇත්තේ වන්නියේ දියත් කරන ලද යුද්ධයේ අපරාධ පිළිබඳ චෝදනා බව හෙළි වී තිබේ.

මාලියේ එක්සත් ජාතීන්ගේ සාමසාධක බලකායේ (MINUSMA) ශ්‍රී ලාංකික භට කණ්ඩායමේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් කලණ අමුණුපුරගේ මානව හිමිකම් චර්යාව පිළිබඳ “මෑතදී ලැබුණු තොරතුරු මත පදනම් වී” ඔහු ආපසු යවන්නට තීරණය කරන ලද බව එජා මහලේකම්වරයාගේ ප්‍රකාශක ස්ටීවන් ඩුජාරික් ගිය සතියේ මාධ්‍යවේදීන්ට දැනුම් දුන්නේය.

ඒ සම්බන්ධයෙන් ප්‍රසාදය පලකරන දකුණු අප්‍රිකාව මුලස්ථාන කොටගත් ශ්‍රී ලංකාවේ සත්‍යය හා යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතිය (ITJP) එක්සත් ජාතීන්ට තොරතුරු සපයන ලද්දේ තමන් විසින් බව කියා සිටී.

“අප විසින් සාමසාධක මෙහෙයුම් දෙපාර්තමේන්තුවට දෙන ලද තොරතුරු ගොනුව මේ පියවර ගැනීම සඳහා පාදක වී ඇති බව දැකීම අපේ මහත් සතුටට හේතුවෙයි,” යනුවෙන් ITJP විධායක අධ්‍යක්ෂිකා යැස්මින් සූකා පවසයි.

“2009 යුද්ධයේදී මියගිය දසදහස් සංඛ්‍යාත දෙමළ ජනයා කොයිතරම්දැයි අපි තවමත් නොදනිමු. ඒ පිළිබඳව එකදු පුද්ගලයකුවත් වගවීමෙන් බැඳ නැත. යම් දිනයක යුක්තිය ළඟාවන බවට වින්දිතයන්ට යම් බලාපොරොත්තුවක් ඇති කර ගැනීමට මේ සුළු පියවර හේතු වනු ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සම්භාවනීය රැකියා ලබා දී යුද අපරාධ චූදිතයන් පිනවීම තව දුරටත් කළ නොහැකි බවටත්, දැඩි සෝදිසි කිරීමෙන් ගැලවී යා නොහැකි බවටත් ප්‍රබල පණිවිඩයක් මේ ක්‍රියාව මගින් ශ්‍රී ලංකාවට යැවෙනු ඇති බවට සැකයක් නැත.”

එක්සත් ජාතීන්ගේ පරීක්ෂාව

හමුදා නිලධාරීන් විදේශගත කිරීමට පෙර පුර්ව පරීක්ෂාවකට ලක් කිරීමට ශ්‍රී ලංකාවේ රජය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය හා එකඟ වී සිටී.

අපකීර්තියට පත් ශ්‍රී ලංකික යුද සෙනෙවියා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය මුලින් කළ පරීක්ෂාවේ දී නොතිබූ තොරතුරු අලුතින් ලැබීම පිටුවහල් කිරීමට හේතුවී තිබේ.

“අදාළ පුද්ගලයා මාලි සාම සාධක බලකායේ (MINUSMA) මෙහෙයුම් සඳහා යාමට පෙර එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පුර්ව සෝදිසියට ලක් කරන ලදී,” යි එක්සත් ජාතීන්ගේ සාමසාධක දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයකු ගගන හා පැවසීය.

“මෑතදී හෙළිවූ අලුත් තොරතුරු එක්සත් ජාතීන්ගේ තීරණයට හේතු විය. සාමසාධක භටයකු ලෙස මාලි දේශයේ කළ සේවාව ඔහුගේ පිටමං කිරීමට සම්බන්ධ නැත.”

ලුතිනන් කර්නල් අමුණුපුර ගේ බලකාය පිළිබඳ මුල් විමර්ශනය එක්සත් ජාතීන් විසින් සිදුකරන ලද බව  සාමසාධනය සඳහා විදේශගත කෙරෙන ශ්‍රී ලාංකික සෙබළුන්ගේ පුර්ව පරීක්ෂාව භාරව සිටින ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම තහවුරු කරයි.

මාලි යැවුනු බලකායේ පූර්ව පරීක්ෂාව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් කරන ලද හෙයින් තව දුරටත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සේවය අනවශ්‍ය  යැයි එවක යුද හමුදාපති මේජර් ජෙනරාල් ක්‍රිශාන්ත ද සිල්වා විසින් ලිඛිතව දන්වන ලද බව කොමිසමේ සභාපතිනි ආචාර්ය දීපිකා උඩගම මාධ්‍යවේදීන්ට පවසා තිබුනි.

මාලි යැවුනු බලකායේ පූර්ව පරීක්ෂාව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් කරන ලද හෙයින් ඒ සඳහා  ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සේවය අනවශ්‍ය බව එවක යුද හමුදාපති මේජර් ජෙනරාල් ක්‍රිශාන්ත ද සිල්වා විසින් ලිඛිතව දන්වන ලද බව කොමිසමේ සභාපතිනි ආචාර්ය දීපිකා උඩගම කොළඹ මාධ්‍යවේදීන්ට පවසා තිබුනි.

රෝහලකට ෂෙල් වෙඩි දැමීමෙන් පසු මියගිය සිරුරු වාහනයකට නංවන මේ ඡායාරූප ගන්නා ලද්දේ 2009 මාර්තු 5 දාය

58 සේනාංකය

ශ්‍රී ලංකාවේ යුද්ධයේ අවසාන අදියරේ දී 58 වැනි සේනාංකය යටතේ වූ 11 වැනි පාබල රෙජිමේන්තුවේ දෙවැනි අණදෙන නිලධාරියා ලෙස කටයුතු කර ඇත්තේ ලුතිනන් කර්නල් අමුණුපුරයි.

“58 සේනාංකය එක්සත් ජාතීන්ගේ පරිශ්‍ර සහ රෝහල් වලට  නොකඩවා ෂෙල් ගැසූ බවටත්, යටත් වූවන් ඝාතනය කළ සහ ඔවුන්ට වධහිසා පැමිණවූ බවටත්, පිළිගත හැකි තොරතුරු 2015 එක්සත් ජාතීන්ගේ  විමර්ශනයකින් හෙළි කරගෙන තිබේ,” යි ITJP නිවේදනයේ දැක්වේ.

“අමුණුපුරගේ ඒකකය 2009 පෙබරවාරියේ පුදුකුඩියිරුප්පු ප්‍රහාරයටත්, 2009 මාර්තුවේ පුදුමාතලන් ප්‍රහාරයටත් සම්බන්ධ බව ආණ්ඩුවේද වාර්තා  ඇතුළු සමකාලීන මුලාශ්‍ර වල දැක්වේ. මේ ප්‍රහාර දෙකේදීම සාමාන්‍ය වැසියන්ට බරපතල හානි සිදුවිය. දැඩි ෂෙල් සහ වෙඩි ප්‍රහාර නිසා පුදුමාතලන්හි වෛද්‍යවරුන්ට මියගිය සහ මියයමින් සිටි පුද්ගලයන්ට ලඟා විය නොහැකිවූ ආකාරය එක්සත් ජාතීන්ගේ වාර්තාවේ සඳහන් කර තිබේ. පුදුමාතලන් හි සාමාන්‍ය වැසියන් බොහෝ සෙයින් වාසය කළ ප්‍රදේශය අවට යුද හමුදාව එල්ල කළ ප්‍රහාරයේ බලපෑම, කලාතුරකින් ප්‍රසිද්ධ නිවේදන නිකුත් කරන ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය විසින් හඳුන්වනු ලැබුවේ ‘ව්‍යසනයක් මිස අන් කිසිවක් නොවේ’ යනුවෙනි”.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉල්ලීමට ගරු කරමින් කලණ අමුණුපුර ආපසු ගෙන්වා ගන්නා බව ශ්‍රී ලංකා යුද හමුදාව දැනුම් දී තිබේ.

පෙරලා සියරට බලා එන සෙන්පතියාගේ නිර්දෝෂිභාවය ඔප්පු කර එක්සත් ජාතීන්ට අභියාචනයක් ඉදිරිපත් කිරීම මගින් ඔහු නැවත සාම සාධක මෙහෙයුම් සඳහා පිටත් කර හැරීමට අපේක්ෂා කරන බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු කොළඹ මාධ්‍යවේදීන්ට පවසා ඇත.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා යුද හමුදාව විසින් නිසියාකාර විනය පරීක්ෂණයක් පැවැත්වීම සම්බන්ධයෙන් ITJP සැක පල කර තිබේ.

ඊට හේතුව ලෙස දක්වා ඇත්තේ ලුතිනන් කර්නල් අමුණුපුර සම්බන්ධ දේශීය පරීක්ෂණ වල වගකීම ද ඔහු සේවය කළ යුද අපරාධ චෝදනා ලබන 58 සේනාංකයේ ආඥාපති විසින් දරනු ලැබීමයි.

“2009 දී අමුණුපුරගේ අණදෙන නිලධාරියා වූ මේජර් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා දැන් ශ්‍රී ලංකා යුද හමුදාවේ විධායක ජනරාල් ධුරය ඉසිලීම කිසිසේත් අනුමත කළ නොහැක,” යි යස්මින් සූකා පවසයි.

“මෙයින් අදහස් වන්නේ යුද අපරාධ සම්බන්ධයෙන් වඩාත් කුප්‍රකට චූදිතයකු හමුදාවේ මානව හිමිකම් අධ්‍යක්ෂ මණ්ඩලය අධීක්ෂණය කරන අතර විදේශයකදී සාමසාධක භටයන් විසින් කෙරෙන කිසියම් උල්ලංඝනයක් පිළිබඳව විමර්ශන භාර නිලධාරියාද වන බවයි.”

ලුතිනන් කර්නල් කලණ අමුණුපුර ගේ නිර්දෝෂී භාවය සනාථ කිරීම සඳහා කවර පියවර ගනු ලබන්නේ දැයි ශ්‍රී ලංකා යුද හමුදාව දැනුම් දී නැත.

හයිටියේ ළමා ලිංගික සුරාකෑම් සම්බන්ධයෙන් චෝදනා නගා 2007 දී ආපසු හරවා යවන ලද සාමසාධක භටයන්ට දඬුවම් කරන ලද්දේ කෙසේදැයි වධහිංසාවට එරෙහි එක්සත් ජාතීන්ගේ කමිටුව (UNCAT) විසින් 2016 දී ශ්‍රී ලංකාවෙන් කරන ලද විමසීමට අවුරුදු දෙකක් ගතවීමෙන් අනතුරුවත් පිළිතුරු ලැබී නැති බව ITJP පෙන්වා දෙයි.

Related posts

Comments are closed.

Top