එක්සත් ජාතීන් පිටමං කළ සෙනෙවියාට ආපහු සාමසාධක රැකියා බෑ | VIDEO

යුද අපරාධ චෝදනා නැගෙන සේනාංකයක වන්නියේ මෙහෙයුම් කළ බව හෙළිවීම නිසා බටහිර අප්‍රිකාවෙන් හරවා එවන ලද ශ්‍රී ලංකා යුද හමුදා සෙන්පතියාට නැවතත් කිසිදිනෙක සාමසාධක රාජකාරි සඳහා සහභාගි වීමේ වරප්‍රසාදය අහිමිවී තිබේ.

සියරට බලා එවන ලද එක්සත් ජාතීන්ගේ මාලි සාමසාධක බලකායේ (MINUSMA) ශ්‍රී ලාංකික භට කණ්ඩායමේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් කලණ අමුණුපුර නැවත පිටරට යැවීම සඳහා අභියාචනයක් ඉදිරිපත් කරන බව ශ්‍රී ලංකා යුද හමුදාව ප්‍රකාශ කර තිබුනි.

ශ්‍රී ලංකාවේ යුද්ධයේ අවසාන අදියරේ දී 58 වැනි සේනාංකය යටතේ වූ 11 වැනි පාබල රෙජිමේන්තුවේ දෙවැනි අණදෙන නිලධාරියා ලෙස යුද වැදී ඇත්තේ ලුතිනන් කර්නල් අමුණුපුර යි.

ගෞරවනීය වරප්‍රසාදයක් වන සාමසාධනයේ යෙදීම සඳහා අභියාචනා කිරීමේ ඉඩ ප්‍රස්තාවක් ඔහුට හෝ ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට නැති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

ලුතිනන් කර්නල් අමුණුපුර සාමසාධක රාජකාරි සඳහා යෝග්‍ය නොවන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් තීරණය කර තිබුනේ ඔහුගේ මානව හිමිකම් චර්යාව නැවත විමර්ශනය කිරීමෙන් අනතුරුවයි.

“එක්සත් ජාතීන්ගේ සුපරීක්ෂණ ක්‍රියාවලිය අධිකරණ ක්‍රියාදාමයක් නොවේ,” යි නිව්යෝර්ක් නුවර එජා සාමසාධන ප්‍රකාශකයකු ගගන කළ විමසීමකදී කියා සිටියේය.

“එම ක්‍රියාවලියේදී ඇගැයීමට ගනු ලබන්නේ පුද්ගලයන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රාජකාරි කිරීමට යෝග්‍ය පරිදි ඉහළම මට්ටමේ කාර්යක්ෂමතාවෙන්, නිපුණත්වයෙන් හා අවංක භාවයෙන් යුතු වන්නේ ද යන්නයි.”

සාම සාධක මෙහෙයුම් සඳහා යැවීමට පෙර ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් හා භටයන් මානව හිමිකම් සෝදිසියකට යටත් කළ යුතු බවට ශ්‍රී ලංකාවේ රජය එකඟ වී ඇත්තේ 2016 දීය.

“කළු පැල්ලම්” නැති කරගැනීම සඳහා පුර්ව සෝදිසියකට යටත් වීමේ අවශ්‍යතාව ශ්‍රී ලංකා යුද හමුදාවද පිළිගෙන තිබෙන බව ශ්‍රී ලංකාවේ අගමැතිවරයා විසින් ජගත් විද්‍යාර්ථීන් පිරිසක් හමුවේ විසින් මෑතකදී අවධාරණය කරන ලදී.

“මාලි වල සාමසාධක කටයුතු වල යෙදෙන්නට දැන් වැඩි උනන්දුවක් දක්වන ශ්‍රී ලංකා යුද හමුදාව එහි යන කිසිවකුගේ වත් කළු පැල්ලම් තිබෙනු දකින්නට කැමති නෑ,” යි අගමැති රනිල් වික්‍රමසිංහ ඔක්ස්ෆර්ඩ් සරසවි සංගමය විසින් සංවිධානය කරන ලද සාකච්ඡා සභාවකදී පවසා තිබුනි.

“සාමසාධක රාජකාරි සඳහා යන කවුරුන් වුනත් ඒ අයට චෝදනා නැතැයි කියා සැකහැර දැනගැනීම සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් පුර්ව සෝදිසියට ලක් කරනු ලබනවා.”

ශ්‍රී ලංකාවෙන් පිටවීමට පෙර ලුතිනන් කර්නල් අමුණුපුර යෝග්‍ය යැයි තීරණය තිබූ එක්සත් ජාතීන්ගේ සංවිධානය ඔහුගේ මානව හිමිකම් චර්යාව ගැන සැහීමකට පත් නොවී තිබුනේ අලුතින් ලැබුනු තොරතුරු මත පදනම් වෙමිනි.

යුද අපරාධ චෝදනා රැගත් එම තොරතුරු එක්සත් ජාතීන්ට සපයා ඇත්තේ මානව හිමිකම් නීතිවේදිනී යැස්මින් සූකා ගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකාවේ සත්‍යය හා යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතිය (ITJP) විසිනි.

මාලි යැවුනු බලකායේ පූර්ව පරීක්ෂාව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් කරන ලද හෙයින් තව දුරටත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සේවය අනවශ්‍ය යැයි එවක යුද හමුදාපති මේජර් ජෙනරාල් ක්‍රිශාන්ත ද සිල්වා විසින් ලිඛිතවම දන්වන ලද බව කොමිසමේ සභාපතිනි ආචාර්ය දීපිකා උඩගම මාධ්‍යවේදීන්ට පවසා තිබුනි.

පූර්ව සෝදිසිය සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට සෙබළුන් යොමු කිරීම සඳහා යුද හමුදාව විසින් මේ වසරේ අප්‍රේල් මාසයේ විදේශීය මෙහෙයුම් අධ්‍යක්ෂක මණ්ඩලයක් (DOO) පිහිටුවන ලදී.

ශ්‍රී ලංකා යුද හමුදාව විසින් දෙසැම්බරයේ මාලි යැවීමට සූදානම් කරන හාරසියයකින් යුත් සෙබල මුළුව ද සාමසාධනය සඳහා නම් කිරීමට පෙර පුර්ව සෝදිසිය අනිවාර්ය බව එක්සත් ජාතීන්ගේ සාමසාධක බලකා ප්‍රකාශකයා ගගන හා වැඩිදුරටත් කියා සිටියේය.

Related posts

Comments are closed.

Top