රාජපක්ෂ ආණ්ඩුවක් හමුවේ GSP+ බදු සහනය අනතුරේ  |  VIDEO

මහින්ද රාජපක්ෂ ආණ්ඩුවක් සංහිඳියාව වෙනුවෙන් ඇති කැපවීම සම්බන්ධයෙන් යුරෝපා සංගමය අවිශ්වාසය පල කිරීම නිසා ශ්‍රී ලංකාව අවුරුදු එකහමාරක් තිස්සේ භුක්ති විඳි අපනයන බදු සහන අවලංගු වී යාමේ අවදානමක් මතුවී තිබේ.

මානව හිමිකම් උල්ලංඝන පිළිබඳ චෝදනා ලබන රාජපක්ෂ පාලන සමයේ පනවන ලදුව හත් වසරක් තිස්සේ ක්‍රියාත්මක කෙරුනු GSP+ වරණීය බදු සහන තහංචිය ඉවත් කරන ලද්දේ පසුගිය අවුරුද්දේ මැයි මාසයේය.

මානව හිමිකම්, කම්කරු අයිතිවාසිකම්, පරිසරය සහ යහ පාලනය යන ක්ෂේත්‍ර වලට අදාළ ජාත්‍යන්තර සම්මුති 27ක් ක්‍රියාවේ යෙදවීමට සම්මුති ආණ්ඩුව දුන් පොරොන්දු මහින්ද රාජපක්ෂ අගමැති ධුරයේ පිහිටුවා ඉටු කර ගත හැකිවේද යන්න සම්බන්ධයෙන් යුරෝපා සංගමය බිය පල කරයි.

“සංහිඳියාව ගැන ඔහුගේ ප්‍රතිපත්තිය කොයි වගේද කියා මට අවබෝධයක් නෑ. ඒක අපි එකඟ වුනු දේ නෙවෙයි වගේ තමයි මට සැක,” යි ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් නියෝජිත තුං ලායි මාර්ග් රොයිටර් ජාත්‍යන්තර පුවත් සේවාවට කොළඹදී විශේෂ ප්‍රකාශයක් කරමින් පවසා තිබුනි.

අතුරුදහන් වුවන් පිළිබඳ කාර්යාලය පිහිටුවීම වැනි ක්‍රියා මගින් රනිල් වික්‍රමසිංහ පාලනය යම් ප්‍රගතියක් අත් කරගෙන ඇති බව ඔහුගේ විශ්වාසයයි.

“බදු සහන ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ආණ්ඩුව දුන් පොරොන්දු ඉෂ්ට කළේ නැතිනම් අපිට සහනය ඉවත් කිරීම ගැන සලකා බලන්න සිද්ධවෙනවා.”

කොළඹට වෘත්තීය සමිති නායකයන් කැඳවා වර්තමාන දේශපාලන තත්වය පිලිබඳ සිය විග්‍රහය ඉදිරිපත් කළ රනිල් වික්‍රමසිංහ ද GSP + බදු සහනය අහෝසි වී යාමේ අවදානම ගැන බිය පල කර තිබුනි.

ආණ්ඩු පාලනය සම්බන්ධයෙන් මතබේදයට තුඩුදී තිබෙන ජනාධිපතිවරයාගේ මෑත ක්‍රියා කලාපයෙන් අනතුරුව ඔහු මුණ ගැසුනු විදේශීය දූත මණ්ඩල නියෝජිතයන් අතර යුරෝපා සංගම් තානාපතිවරයාද විය.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මානව හිමිකම්, මාධ්‍ය නිදහස, සාමය සහ සියලු ජාතීන් අතර සහජීවනය තව දුරටත් තහවුරු කරමින් ශක්තිමත්ව ඉදිරියට ගෙන යාම රාජපක්ෂ අගමැති මුල්කරගත් රජයේ බලාපොරොත්තුව බව ජනාධිපතිවරයා එහිදී කියා සිටියේ යැයි ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කර තිබුනි.

රටේ ව්‍යවස්ථාවට අනුකූලව සහ රට තුළ සාමය ආරක්ෂා වන පරිදි කටයුතු සිදු විය යුතු යැයි ඔවුන් අපේක්ෂා කරන බව  තානාපතිවරුන් කිහිප දෙනකු කියා සිටි බවද එහි සඳහන් වේ.

Related posts

Comments are closed.

Top