මහින්දට දෙමළ පක්ෂ සහාය ගැනීමේ ජනපති වෑයම වරදී | VIDEO

මහින්ද රාජපක්ෂගේ අගමැති ධුරය පාර්ලිමේන්තුවෙන් තහවුරු කර ගැනීම සඳහා දෙමළ පක්ෂ සහාය ලබා ගැනීමට ජනාධිපතිවරයා දැරූ උත්සාහය අසාර්ථක වී තිබේ.

තම ඉල්ලීම ඉදිරිපත් කිරීම සඳහා දෙමළ ජාතික සන්ධානයත්, දෙමළ ප්‍රගතිශීලී සන්ධානයත් ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් වෙන් වෙන්ව ආරාධනා කර තිබුනේ පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා දරන උත්සාහය අභියෝගයක් වී තිබෙන බව දිස්වන අවස්ථාවකය.

එම පක්ෂ දෙකම දැනට තීරණය කර ඇත්තේ මහින්ද රාජපක්ෂගේ අගමැති ධුරයට විරුද්ධ වීමටය.

ප්‍රසිද්ධියට පත් කර ඇති තමන් විසින් ගන්නා ලද තීන්දුව “ආපස්සට හැරවිය නොහැකි” බව දෙමළ ජාතික සන්ධානය (TNA) සාකච්ඡාවෙන් පසු දැනුම් දී තිබේ.

“දෙමළ ජාතික සන්ධානය විසින් ගන්නා ලද තීන්දු ආපස්සට හැරවිය නොහැකි බවත් එම තීරණ වෙනුවෙන් ම පෙනී ඉන්නා බවත්, TNA නියෝජිත මණ්ඩලය අතිගරු ජනාධිපති වරයාට පැහැදිලි කරදුන්නේය,” යි එම් ඒ සුමන්දිරන් මන්ත්‍රීවරයා විසින් නිකුත් කරන ලද නිවේදනයක සඳහන් වේ.

මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් පිහිටුවන ආණ්ඩුවකට හවුල් වී ඇමති ධුර භාර ගෙන, විශ්වාස භංගයකදී ඔහුට ඡන්දය දීමෙන් වැළකී, රනිල් වික්‍රමසිංහ තවදුරටත් අගමැති ලෙස පත් කර නොගන්නා ලෙසත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පැජට් පාරේ සිය නිල නිවසේදී ඉල්ලා සිටි බව පාර්ලිමේන්තු ආසන හයක් හිමි දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ (TPA) නායක මනෝ ගනේෂන් ප්‍රකාශ කළේය.

“එක්සත් ජාතික පෙරමුණ තුල තියෙන අපේ ස්ථාවරය වෙනස් කරලා ඒ ආණ්ඩුවට ඇතුල් වෙන්නට හෝ ඇමති ධුර භාර ගන්නට හෝ අපිට එකඟ වෙන්න බෑ,” යි ජනාධිපති වරයාට සෘජුව කියා සිටි බව TPA නායකයා කියා සිටියේය.

“අපි පත් කරපු ජනාධිපතිට අපේ ස්ථාවරය කෙලින්ම මුහුණට කිව්වා.”

උතුරු නැගෙනහිර ජනතාවගේ ඡන්ද ලබාගැනීම සඳහා දෙමළ පක්ෂවලින් ලැබුණු සහයෝගය බලපෑ වග ජනාධිපතිවරයා පිළිගත් බවත් මනෝ ගනේෂන් වැඩි දුරටත් සඳහන් කළේය.

දෙමළ ජාතික සන්ධානයේ එක් මන්ත්‍රීවරයකු මේ වන විට මහින්ද රාජපක්ෂට සහාය දීමට ඉදිරිපත් වී නියෝජ්‍ය අමාත්‍ය ධුරයකින් පිදුම් ලබා සිටී.

Related posts

Comments are closed.

Top