රාජපක්ෂ ආණ්ඩුවට විරුද්ධව කතානායක යැවූ විශ්වාස භංග තීන්දුව ජනපති ප්‍රතික්ෂේප කරයි

මහින්ද රාජපක්ෂ අගමැති ලෙස කටයුතු කරන ආණ්ඩුව ඉවත් කිරීමට පාර්ලිමේන්තුව විශ්වාස භංගයකින් තීන්දු කරන ලද බවට කතානායකවරයා කළ දැනුම් දීම ජනාධිපතිවරයා විසින් දැඩි ස්වරයෙන් යුතුව ප්‍රතික්ෂේප කර තිබේ.

ශ්‍රී ලංකාවේ විධායකය සහ ව්‍යවස්ථාදායකය අතර ඇවිලෙමින් පැවති ගැටුම තවත් තීව්‍ර කරමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් ලියා ඇති ලිපියේ කතානායකවරයා ගත් ක්‍රියාමාර්ගය හඳුන්වා ඇත්තේ අධිකරණය ඉදිරියේ විනිශ්චය කෙරෙන නඩුවකට අගතිදායක වන කටයුත්තක් ලෙසිනි.

විශ්වාස භංගය විමසීමේදී කතානායක කරු ජයසුරිය කටයුතු කර ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, ස්ථාවර නියෝග සහ පාර්ලිමේන්තු සම්ප්‍රදාය නොසලකා හරිමින් බවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කතානායක කරු ජයසූරියට ලිඛිතව දැනුම් දී ඇත.

ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායක සහ විජිත හේරත් යන මන්ත්‍රීවරුන් දෙදෙනාගේ යෝජනා ස්ථිරත්වයෙන් ඉදිරිපත් කරන ලද විශ්වාස භංගය බහුතරයෙන් සම්මත වූ බව කතානායක විසින් ජනාධිපති වරයා ට දැනුම් දී තිබුනි.

එය තහවුරු කිරීම සඳහා යවා තිබුනු අත්සන් ලේඛනය ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කොට ඇත්තේ ව්‍යාජ ලේඛනයක් ලෙසිනි.

“ඔබතුමා එවා ඇති මන්ත්‍රී අත්සන් ලේඛනයේ මුල් පිටපතෙහි පරණ දිනයක් මකා ඒ උඩ නොවැම්බර් මස 14 දිනය ලෙස යොදා ඇත,” යි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් කතානායක වරයා වෙත ලියන ලද ලිපියේ කියා තිබේ.

Related posts

Comments are closed.

Top