හිදැස: අගමැති පටලැවිල්ල, ව්‍යවස්ථාවේ භාෂා අවුල, සල්ලි වලට පිල් මාරුව සහ ජාත්‍යන්තර ප්‍රතිචාරය

අග්‍රාමාත්‍ය තනතුරෙන් රනිල් වික්‍රමසිංහ ඉවත් කිරීම සහ අග්‍රාමාත්‍ය ධූරයට මහින්ද රාජපක්ෂ පත් කිරීම ගිය  සතියේ දමිළ පුවත්පත් වාර්තාකරණය තුළ ප්‍රමුඛස්ථානයක් ගෙන තිබිණි.

මෙම අර්බුදයේ ප්‍රධාන දෘෂ්ටි හතරක් වෙත දමිළ පුවත්පත් අවධානය කේන්ද්‍රගතව තිබිණි. (1) ඔක්තෝබර් 26 වැනිදා සිදුවීම් වල ව්‍යවස්ථානුකූල භාවය පිළිබඳ විවාදය, (2) දමිළ ප්‍රජාවට සහ එහි දේශපාලන නායකයන්ට විශේෂ වූ ගැටළු කෙරෙහි උක්ත සඳහන් තත්වයෙන් ඇතිවන බලපෑම, (3) පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එක්සත් ජනතා නිදහස් සන්ධාන කඳවුරට පැනීම සහ (4) මෙයට ජාත්‍යන්තර ප්‍රජාවෙන් ලැබෙන ප්‍රතිචාර එම දෘෂ්ටීන් විනි.

(1) ව්‍යවස්ථානුකූල භාවය පිළිබඳ ගැටළු

සිංහල පුවත්පත් සේම දමිළ පුවත්පත්ද, 2018 ඔක් ‍තෝබර් 26 වැනි දින සිදුවූ සිදුවීම් වල ව්‍යවස්ථානුකූල භාවය ගැඹුරින් සොයා බැලීමය කටයුතු කොට තිබිණි. වීරකේසරී සහ තිනකුරල් පුවත්පත් මගින් මෙයට අදාළ වන සහ ප්‍රතිරෝධී වන ව්‍යවස්ථා විධිවිධාන දීර්ඝ වශයෙන් සාකච්ඡා කොට තිබූ අතර, එහිදී පැමිණ තිබූ නිගමනය වූයේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් විධායක ජනාධිපතිගේ බලතල අඩු කර තිබීම සැලකිල්ලට ගත් විට සහ අදාළ ව්‍යවස්ථා විධිවිධාන සමුච්ඡයක් ලෙසින් ගෙන කියැවූ විට ජනාධිපතිගේ ක්‍රියා ව්‍යවස්ථා විරෝධී සහ ප්‍රජාතන්ත්‍ර විරෝධී වන බවයි. ව්‍යවස්ථාවේ සිංහල, දමිළ සහ ඉංග්‍රීසි පිටපත් වල විෂමතා තිබෙනා බවට වන ප්‍රකාශයද  විවේචනයට ලක්ව තිබූ අතර, මෙම භාෂා ත්‍රිත්වයේ සංස්කරණ තුනේම ඒකීයත්වයක් තිබීමේ අවශ්‍යතාවය අවධාරණය කෙරී තිබිනි. තිනකුරල් කතුවැකිය මගින් විශේෂයෙන්ම දක්වා තිබුණේ, ව්‍යවස්ථාව අර්ථ ගන්වා ගත යුත්තේ යුක්තියට හා සාධාරණත්වය අනුකූලව මිස ජනාධිපතිවරයාගේ හෝ මහින්ද රාජපක්ෂගේ හදිසි අදහස් අනුව නොවන බවයි.

මෙයට ප්‍රතිවිරුද්ධ ලෙසින් රජයට අයත් තිනකරන් පුවත්පත මගින් පවත්වාගෙන යමින් තිබූ අදහස වූයේ ජනාධිපතිවරයාගේ ක්‍රියා ව්‍යවස්ථානුකූල බව මෙන්ම ව්‍යවස්ථාව සහ අනෙකුත් සියලුම නීති සම්පාදිතයන් මගින් පෙන්වා දෙන ආකාරයට යම් හෙයකින් විෂමතාවයන් ඇති බවට ප්‍රකාශ කෙරුනහොත් ව්‍යවස්ථාවේ සිංහල පරිවර්තනය පිළිගත යුතු බැවින්, අර්ථ දක්වාගැනීමේ කිසිදු ව්‍යාකූලත්වයක් නොමැති බවයි. තවදුරටත් තිනකරන් මගින් ජනාධිපතිවරයාගේ ක්‍රියා සාධාරණීකරණය කොට තිබුණේ, එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පොදු ජනතාවගේ සුභසිද්ධිය සම්බන්ධයෙන් සැලකිල්ලක් නොදක්වන්නේය යන පදනම මතයි.

(2) දමිළ ජනතාවගේ අභිලාෂ කොයිබටද?

වර්තමාන දේශපාලනික වෙනස්වීම් දමිළ ප්‍රජාවගේ ගැටළු වෙත සිදුකරනු ඇති බලපෑම සම්බන්ධයෙන් දමිළ පුවත්පත් මගින් විස්තීර්ණව ආවරණය කොට තිබිණි. වීරකේසරී සහ තිනකුරල් පුවත්පත් දෙකම මගින් දමිළ දේශපාලන නායකත්වය- විශේෂයෙන්ම දෙමළ ජාතික සන්ධානය සහ එහි නායක ආර්.සම්බන්ධන් හෙළා දැක තිබුණේ, සමගි රජය පිළිබඳ විශ්වාසය තබා දමිළ ජනතාවගේ දුක්ගැනවිලි නොඇසූ කන්ව සිටීම සම්බන්ධයෙනි. ඔවුන් වෙත එල්ලවූ එක් විවේචනයක් වූයේ දෙමළ ජාතික සන්ධාන නායකත්වය  විසින් වාර්ගික ප්‍රශ්නයට ආමන්ත්‍රණය කළ හැකි නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට සහ මහින්ද රාජපක්ෂ නැවත බලයට ඒම වළක්වන්නට ප්‍රතිඥා ලබාදී තිබුණත්, එම ප්‍රතිඥා දෙකම ඉ‍ටු කිරීමට ඔවුන් අසමර්ථ වී සිටිනා බවටයි.

දෙමළ ජාතික සන්ධාන නායකත්වයට මේ වනවිට ඇති විකල්ප, දමිළ පුවත්පත් මගින් කිරා මැන බලා තිබිනි:

1) 2009-2015 කාලය අතරතුරදී රාජපක්ෂ විසින් දමිළ ජනතාවගේ දුක්ගැනවිලි වෙත අවධානය යොමු කිරීමට අසමර්ථ වූ බැවින් ඔහු දැන් එසේ කරනු ඇතැයි කිසිදු සහතිකයක් නොමැති නිසාවෙන්, දෙමළ ජාතික සන්ධානයට රාජපක්ෂ වෙත සහාය නොදී සිටීමේ විකල්පය ‍තෝරාගත හැක. එසේම සංක්‍රාන්ති යුක්ති යාන්ත්‍රණ පිහි‍ටුවීමටද ඔහු එකඟ නොවීමට ඉඩ ඇත. තවදුරටත් රාජපක්ෂවරුන් වෙත සිංහල-බෞද්ධ බහුතරයේ සහාය තිබෙනා බැවින්, නැවත බලයට පැමිණීම සඳහා ඔවුන්ට දෙමළ ජාතික සන්ධානයේ සහාය අවශ්‍ය නොවීමට ඉඩ ඇත. එනිසා රාජපක්ෂ වෙත සහාය පළ කිරීමෙන් වාසිදායක ප්‍රතිඵලයන් නොලැබෙනු ඇත. කෙසේ වුවත් දෙමළ ජාතික සන්ධාන නායකත්වය මහින්ද රාජපක්ෂ හට සහාය පළ කරන්නේ නම්, ඔහුගේ ශක්තිමත් නායකත්ව හා තීරණ ගැනිමේ කුසලතාවයන් සලකා බැලූ විට දේශපාලන සිරකරුවන් වැනි වඩාත් හදිසි ගැටළු පිළිබඳව කටයුතු කිරීමට ඔවුන්ට ඇතැම් විට හැකිවනු ඇත. තවදුරටත් ගත් විට රාජපක්ෂ විසින් බහුතරය දිනාගැනීමට බලවත් උත්සාහයක නිරත වන නිසාවෙන්, දෙමළ ජාතික සන්ධානයට මෙම මොහොත දමිළ ජනතාවගේ දුක්ගැනවිලි වෙත අවධානය යොමු කිරීම සඳහා වාසියක් ලෙසින් යොදාගැනීමට හැකිවනු ඇත.

2) බොහෝ විට විය හැකි සිදුවීම ලෙසින් දමිළ පුවත්පත් මගින් පුරෝකථනය කළ පරිදි දෙමළ ජාතික සන්ධානය රනිල් වික්‍රමසිංහට සහාය පළ කරන්නේ නම්, ඒ මගින් දෙමළ ජාතික සන්ධානය තමන් සොයනා විසඳුම් අත්පත් කර ගැනීමට අපොහොසත් වීමට හැක. තව දුරටත් රනිල් වික්‍රමසිංහ හට ජනාධිපතිවරයාගේ සහාය නොතිබෙන නිසාවෙන් සහ පාර්ලිමේන්තුවේ ශක්තිමත් බහුතරයකින් තොරව සඵලදායී ලෙසින් දමිළ ජනතාවගේ ගැටළු ආමන්ත්‍රණය කිරීමට අසමර්ථ වනු ඇති බැවින්, රජය තුළ අස්ථිර භාවයක් ඇතිවීමේ හැකියාව තිබෙනා අතර එය දමිළ ජනතාවගේ දුක්ගැනවිලි විසඳීම සඳහා උපකාරී නොවනු ඇත.

3) දෙමළ ජාතික සන්ධානය තම මධ්‍යස්ථභාවය පවත්වා ගනිමින්, සිය ප්‍රතිපත්ති මත තිරව පිහිටමින් සිටීමට ‍තෝරාගතහොත්, එවිට ඔවුන් හට දමිළ ජනතාවගේ දුක්ගැනවිලි වෙත ආමන්ත්‍රණය කිරීමට ස්ථිරව භාරගන්නා පාර්ශවය වෙත සිය සහාය ලබාදීමට හැකියාව ලැබෙනු ඇත.

කෙසේ වුවත් සමස්ත හැඟීම වූයේ, එක්සත් ජනතා නිදහස් සන්ධානය හෝ එක්සත් ජාතික පක්ෂය විසින් දමිළ ප්‍රජාවගේ දුක්ගැනවිලි වෙත ආමන්ත්‍රණය නොකරනු ඇති නිසාවෙන් දමිළ ප්‍රජාව සඳහා තත්වය අසතු‍ටුදායක බවයි. තවදුරටත් 2018 නොවැම්බර් වැනි 1  දින කොළඹදී ජනපතිවරයා විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැතිවරණ සංවිධායකයින්ව අමතමින්, තමන් උතුරු හා නැගෙනහිර පළාත් ඒකාබද්ධ කිරීමකට හෝ ෆෙඩරල් විසඳුමකට සහාය පළ නොකරන බවට කළ ප්‍රකාශය වෙත දමිළ පුවත්පත් වෙතින් උග්‍ර විවේචනයක් එල්ල වී තිබිනි. එමෙන්ම දමිළ පුවත්පත් වෙත හැඟී ගොස් තිබුණේ, එකිනෙකා හා තරග වැදී සිටිනා අගමැතිවරුන් දෙදෙනාගෙන් කවරකුට වුවත් ව්‍යවස්ථා සංශෝධනයන් ඉදිරියට ගෙන යෑමට අවශ්‍ය වුවත්, ඊට අත්‍යාවශ්‍ය වන පාර්ලිමේන්තුවේ 2/3 ක බහුතරය ලබාගැනීමට සමත් නොවනු ඇති නිසාවෙන් ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය තවදුරටත් සිදුනොවනු ඇති බවයි.

රජයට අයත් දමිළ පුවත්පත වන තිනකරන් මගින්, වර්තමාන සිදුවීම් දමිළ ජනතාවගේ ගැටළු වෙත කෙබඳු බලපෑමක් ඇති කරනු ඇතිදැයි යන කරුණ ඔස්සේ සොයා බලා නොතිබූ තරම්ය. ඒ වෙනුවට තිනකරන් මගින් තමන් දමිළ ජනතාවගේ අවශ්‍යතාවන්ට අවධානය යොමු කරන බවට මහින්ද රාජපක්ෂ විසින් කළ ප්‍රකාශයත්, දමිළ ජනතාවට මහින්ද රාජපක්ෂ සමගින් එක් වන ලෙසින් ඉල්ලා ඉන්දියාවේ සුබ්‍රමනියම් ස්වාමි විසින් කළ ප්‍රකාශයත්, ඉලංකෛ තමිල් අරසු කච්චි පාර්ලිමේන්තු මන්ත්‍රී එස් වියාලේන්ද්‍රන් රාජපක්ෂ පාර්ශවයට එක් වීමත් සිය මුල් පි‍ටුවේ පුවත් ලෙසින් පළ කොට තිබිණි.

(3) වෙනස්වන පක්ෂපාතීත්වයන්

එක්සත් ජනතා නිදහස් සන්ධාන කඳවුරට පනින්නන් සම්බන්ධයෙන් දමිළ පුවත්පත් මගින් විවේචනාත්මකව අදහස් පළ කොට තිබිණි. වීරකේසරී සහ තිනකුරන් මගින් මෙම අනෙක් පසට පැනීම් හෙළා දැක තිබූ අතර, පුද්ගලික වාසිය වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය විකුණා දමා ඇති බව ප්‍රකාශ කොට තිබුණි. එසේම එම පුවත්පත් එම ප්‍රකාශයටම එක් කොට තිබුණේ, පාර්ලිමේන්තුවේ සභාවාරය අවසන් කිරීම සඳහා ප්‍රධානතම හේතුව වූයේ මෙම කඳවුරු මාරු කොට පැනීම් සඳහා අවකාශය සැපයීම බවයි. මෙසේ සිය කඳවුර මාරු කොට පැනීම වෙනුවෙන් අමාත්‍ය ධූර පිරිනමන බවට සාක්ෂි ලෙසින් පාර්ලිමේන්තු මන්ත්‍රී රංගේ බණ්ඩාර විසින් පටිගත කරන්නට යෙදුණු දුරකථන සංවාදය ඉදිරිපත් වීම සතිඅන්තයේ වීරකේසරී සහ තිනකුරල් පුවත්පත් දෙකේම මුල් පි‍ටු පුවත් බවට පත්ව තිබිණි.

කෙසේ වුවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රංගේ බණ්ඩාර විසින් නිකුත් කරන්නට යෙදුණු දුරකථන සංවාද පටිගත කිරීම පිළිබඳව රජයේ පුවත්පතක් වන තිනකරන්හි කිසිදු සඳහනක් නොතිබුණි. තවදුරටත් තිනකරන් මගින් මෙම එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් සහ දමිළ මන්ත්‍රීවරුන් අනෙක් කඳවුරට පැනීම දැක තිබුණේ, නව අග්‍රාමාත්‍යවරයාව ශක්තිමත් කිරීම සඳහා ගත් පියවරක් ලෙසිනි. මෙසේ මන්ත්‍රීවරුන් විසින් අනෙක් පසට පැනීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ බහුතරය තහවුරු කිරීමට රනිල් වික්‍රමසිංහ හට නොහැකි වනු ඇතැයි තිනකරන් මගින් ඉස්මතු කොට දක්වා තිබූ අතර – එයින් නොදැනුවත්වම පිළිගෙන තිබූ කාරණාව වූයේ මෙම කඳවුරු මාරු කොට පැනීම් සිදු නොවූයේ නම් රනිල් වික්‍රමසිංහ හට පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීමට ඉඩ තිබුණේය යන කාරණාවයි.

(4) ජාත්‍යන්තර මතය

ප්‍රධාන ධාරාවේ දමිළ පුවත්පත් මගින් පුන පුනා ප්‍රකාශ කොට තිබුණේ, ජාත්‍යන්තර ප්‍රජාව ජනාධිපතිවරයාගේ ක්‍රියා හෙළා දකින බවත්, ඊට ක්ෂමාව නොදෙන බවත්ය. මෙය සනාථ කෙරුණේ මහින්ද රාජපක්ෂට සුභපැතීම සඳහා චීනය හැරෙන්නට වෙනත් කිසිදු රටක් ඉදිරියට නොපැමිණීමත්, ව්‍යවස්ථාවට අනුව කටයුතු කරන ලෙසට ජාත්‍යන්තර ප්‍රජාව විසින් ජනාධිපතිවරයාට නැවත නැවතත් කියා සිටීමත් යන කරුණු මගිනි. මෙය, 2015 දී තමන් බලයට පැමිණි අවස්ථාවේ ජනාධිපතිවරයාට ජාත්‍යන්තර ප්‍රජාවෙන් ලැබුණු ගෞරවයට සහ පිළිගැනීමට ප්‍රතිවිරුද්ධ විනි. ජනාධිපතිවරයාට සහ පැවසෙන ආකාරයට නව අගමැතිවරයා වන මහින්ද රාජපක්ෂට ජාත්‍යන්තරයෙන් ලැබෙන සහාය හිඟ වීම පිළිබඳ කිසිවක් සඳහන් නොකළ, ඒ වෙනුවට විදේශ දූත පිරිස් මුණගැසීම සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහට විවේචන එල්ල කළ තිනකරන් වාර්තාකරණයද උක්ත කාරණයට ප්‍රතිවිරුද්ධ විනි.

Related posts

Comments are closed.

Top