“අනාරක්ෂිත” ශ්‍රී ලංකාවට පිටුවහල් නොකරන ලෙස බ්‍රිතාන්‍ය ආණ්ඩුවට බලපෑම්

විශ්වාස භංගයකින් පැරදී සිටියදීත් නිලතල අතහැර නොයන මහින්ද රාජපක්ෂ නායකත්වය දරන ආණ්ඩුවක් බලය ගැනීමේ අභියෝගය හමුවේ ශ්‍රී ලංකාවට කිසිවකුත් පිටුවහල් නොකරන ලෙසට බ්‍රිතාන්‍යයේ ප්‍රධාන විපක්ෂය එරට ආණ්ඩුවට බලකර සිටී.

දේශපාලන රැකවරණ නොලැබී  ශ්‍රී ලංකාවට යවනු ලබන පුද්ගලයන් ජනාධිපති අතගසා සිදුකළ ආණ්ඩු මාරුවෙන් පසු පීඩාවට පත්වනු ඇති බවට ලේබර් පක්ෂය බිය පළකර තිබේ.

“ශ්‍රී ලාංකිකයන් ආපසු යැවීම අත්හිටුවා ශ්‍රී ලංකාව සම්බන්ධ සරණාගත පිළිවෙත පුනරීක්ෂණයට භාජන කරන ලෙස මම එක්සත් රාජධානියේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයෙන් උදක්ම ඉල්ලා සිටිමි,” යි ඡායා විදේශ ඇමැතිනි ලිස් මැකිනස් නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

“බොහෝ ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඇති අවදානම වඩාත් ඉහල ගොස් තිබේ.”

රනිල් වික්‍රමසිංහ වෙනුවට මහින්ද රාජපක්ෂ පත් කිරීමත් සමගම ප්‍රකාශයක් නිකුත් කළ වධබන්ධනයට ලක්වූවන්ට ප්‍රතිකාර කරන ලෝකයේ ප්‍රමුඛතම ආයතනයක් බ්‍රිතාන්‍ය රජයෙන් ඉල්ලා සිටියේ ශ්‍රී ලංකාවට බලහත්කාරයෙන් පිටුවහල් කිරීම වහාම නවතා දමන ලෙසයි.

පුද්ගලයන්ට වධහිංසා කිරීම සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ පමණ වගකිව යුතු අයකු “ලෝකයේම නැති තරම්” යනුවෙන් ලන්ඩනය මුලස්ථාන කොටගත් වධ හිංසාවෙන් නිදහස (Freedom from Torture-FfT) ආයතනය පවසා තිබුනි.

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැර රනිල් වික්‍රමසිංහ වෙනුවට මහින්ද රාජපක්ෂ පත් කිරීම ව්‍යවස්ථා විරෝධී මෙන්ම රට අස්ථාවර බවට පත් කිරීමේ පියවරක් ලෙස ලේබර් පක්ෂය විසින් හෙලා දැක තිබේ.

“2009 දී අවසන් වූ සිවිල් යුද්ධයේදී සිදු කරන ලද මහා පරිමාන මානව හිමිකම් උල්ලංඝන හා දූෂණ වංචා සම්බන්ධයෙන් එවක ජනාධිපති ධුරය හෙබවූ මහින්ද රාජපක්ෂ චෝදනා ලබයි,” යනුවෙන් ලිස් මැකිනස් මන්ත්‍රීවරිය පවසයි.

“ශ්‍රී ලාංකිකයන්ට පොරොන්දු වූ පරිදි සාමය හා සංහිඳියාව ඇති කිරීමට නම්, චෝදනා නැගෙන අපරාධ සම්බන්ධයෙන් වගවීම සහ යුක්තිය සාක්ෂාත් කර ලීම අතිශයින් වැදගත් වෙයි.”

මහින්ද රාජපක්ෂ පත් කිරීමේ නීතිගරුක භාවයද මුල් පෙළේ බ්‍රිතාන්‍ය විපක්ෂ මන්ත්‍රීවරිය විසින් ප්‍රශ්න කර තිබේ.

“පාර්ලිමේන්තුව නැවත කැඳවා, නීතිමය මාර්ගයෙන් අගමැති වරයකු පත් කිරීමට පියවර ගන්නා ලෙස මම ජනාධිපති සිරිසේන ගෙන් උදක්ම ඉල්ලා සිටිමි.”

මේ අතර, පාර්ලිමේන්තු යෝජනා සම්මතයෙන් දෙවතාවක්ම අගමැති ධුරයෙන් පහ කර ඇති මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ඔහුගේ අමාත්‍ය මණ්ඩලයට මුදල් හා සම්පත් ලබාදීම අත් හිටුවීමට කර ඇති යෝජනාවක් නොවැම්බර් 29 දා විවාදයට ගැනීමට නියමිතය.

Related posts

Comments are closed.

Top