පස් වසරක් තුල ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල් කළ පහෙන් පංගුවක් ලාංකිකයන්

දේශපාලන රැකවරණ පතා මුහුදු මගින් එන්නවුන් ආපසු හරවා යැවීම මගින් මානව හිමිකම් උල්ලංඝනය කරන බවට දෝෂ දර්ශනයට ලක්වී සිටින ඔස්ට්‍රේලියාව විසින් පසුගිය පස් අවුරුද්ද තුලදී පිටුවහල් කරන ලද මුළු පිරිසෙන් පහෙන් පංගුවක්ම ශ්‍රී ලාංකිකයෝ වෙති.

මුහුදු මගින් පැමිණීම මිනිස් ජාවාරමක් ලෙස හෙලා දකින එරට ආණ්ඩුව විසින් පසුගිය අවුරුදු හතරේදී  සාගර සංක්‍රමණයට වීරිය දැරූ සියලුම ලාංකිකයන් පිටුවහල් කරන ලදැ’යි කොළඹ ඔස්ට්‍රේලියා දූත මණ්ඩලය විසින් හෙළි කර තිබේ.

“2013 වසරේ ඔස්ට්‍රේලියාව දැඩි දේශසීමා ආරක්ෂණ ප්‍රතිපත්ති හඳුන්වා  දීමත් සමග මිනිස් ජාවාරම් උත්සාහයන් 34ක් හරහා පැමිණී පුද්ගලයින් 827 ක් ඔවුන්ගේ රටටම හෝ ඔවුන් පිටත්වු රටට හරවා යැවීමට ඔස්ට්‍රේලියාව කටයුතු කර ඇති අතර ඊට ශ්‍රී ලාංකිකයින් 166 ක් ඇතුළත්ය,” යි කොළඹ ඔස්ට්‍රේලියා මහ කොමසාරිස් කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

“පසුගිය සිව් වසර තුළ ඔස්ට්‍රේලියානු මුහුදු සීමාවට ප්‍රවේශ වු සියඵම ශ්‍රී ලාංකේය මිනිස් ජාවාරම් බෝට්ටු නවතනු ලැබූ අතර, එහි සිටි සියඵම පුද්ගලයින් ශ්‍රී ලංකාවටම නැවත හරවා එවා තිබේ,” යි මහ කොමසාරිස් බ්‍රයන් හචිසන් කියා ඇත.

ආරක්ෂාව පතා පලා යන දෙමළ ජනතාව ශ්‍රී ලංකාවේදී වධබන්ධනයට ගොදුරු වීමේ අවදානම සැලකිල්ලට ගෙන ඔවුන් ආපසු නොයවන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය පසුගිය වසර මැදදී ඔස්ට්‍රේලියාවෙන් ඉල්ලා  තිබුනි.

එම අනතුරු ඇඟවීම නොතකා ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීම බිය එලවන සුලු පියවරක් ලෙස හෙලා දකින එක්සත් ජාතීන්ගේ සංවිධානය එමගින් ඔස්ට්‍රේලියාව සිය ජාත්‍යන්තර වගකීම් පැහැර හරින බවට චෝදනා කර තිබේ.

ඔස්ට්‍රේලියාව කරා එන “සියලු මුහුදු මාර්ග” වසා ඇතැයි පවසන කොළඹ ඔස්ට්‍රේලියා මහකොමසාරිස් කාර්යාලය තම ආණ්ඩුව “මිනිස් ජාවාරම් ක්‍රියාකාරකම් 78ක් නවතා දමා, පුද්ගලයින් 2525 ක් නීතිවිරෝධීව බෝට්ටු මගින් ගමන් කිරීම නවත්වමින් මිනිසුන් 614ක් අත්අඩංගුවටද ගෙන තිබේ,” යි සිය නිවේදනයෙන් අනතුරු අඟවා සිටී.

 

 

Related posts

Comments are closed.

Top