ජාතිකවාදී රාජපක්ෂ පිලේ නායකයන් සහ විදේශීය රාජ්‍ය නියෝජිතයන් අතර රහස් කතා

විදේශීය තානාපතිවරුන් සහ දෙමළ ජාතික සන්ධානය අතර හමුව. නොවැම්බර් 20

ශ්‍රී ලංකාවට විදේශ රාජ්‍ය මැදිහත් කරගැනීම සඳහා පියවර ගනිමින් ඉන්නා බවට වෙනත් පක්ෂ වලට චෝදනා නගන රාජපක්ෂවාදී දේශපාලකයන් වර්තමාන දේශපාලන අර්බුදය මධ්‍යයේ රහසිගතව තානාපති නිලධාරීන්  සමග සාකච්ඡා පවත්වා ඇතැයි හෙළිවී තිබේ.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඉහල පෙලේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලකයන්ද විසින් කරන ලද ඉල්ලීමක් පරිදි එම හමුවීම් සිදුවූ බව බටහිර දූත මණ්ඩල ප්‍රධානීන් දෙදෙනකුම තහවුරු කර ඇත.

තමන් ඇතුළු විදේශීය දූත මණ්ඩල නියෝජිතයන් කිහිප පලක්ම පසුගිය සතියේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැති ඇමැතිවරුන් පිරිසක් මුණගැසුනු බව ශ්‍රී ලංකාවේ ජර්මන් තානාපතිවරයා පවසයි.

“කැනඩා මහකොමසාරිස් වරයා සහ මා ඇතුළු විදේශීය නියෝජිතයන් දුසිමක් පමණ පසුගිය අඟහරුවාදා ඉහල පෙලේ එජනිස මන්ත්‍රීවරුන්/ ඇමැතිවරුන් හතර දෙනකුගේ ඉල්ලීම පරිදි ඔවුන් මුණ ගැසුනෙමු. රහස්‍ය භාවය රකින ලෙස ඔවුන් කළ ඉල්ලීමට අපි ගරු කළෙමු,” යි තානාපති ජෝන් රෝඩ් ට්විටර් පණිවිඩයකින් දන්වා ඇත.

දිනේෂ් ගුණවර්ධන, මහින්ද සමරසිංහ, සුසිල් ප්‍රේමජයන්ත සහ තාරක බාලසූරිය යන මන්ත්‍රීවරුන් සිව් දෙනා “සද්ද නැතිවම” එම හමුව සිදුවූ බව එක්සත් ජාතික පක්ෂයේ හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා පවසයි.

සභානායක ලෙස තමන් මුණගැසෙන ලෙස “කරකියා ගත හැකි දෙයක් නොමැතිව” දිනේෂ් ගුණවර්ධන කළ ඉල්ලීමක් ප්‍රතික්ෂේප වූ තැන හමුව සිදුවූ බව ආචාර්ය ද සිල්වා ගේ ට්විටර් පණිවිඩයකින් දැනුම් දී තිබේ.

රාජපක්ෂවාදීන් හා විදේශීය දූත මණ්ඩල නියෝජිතයන් අතර සාකච්ඡා පිළිබඳ තොරතුරු හෙළිදරව් වූයේ මහින්ද රාජපක්ෂ අගමැති ධුරයට පත් කිරීමට විරුද්ධ දේශපාලන පක්ෂ තානාපතිවරුන් හමුවීම ඔහුගේ පුත්‍රයා විසින් හෙලා දකිනු ලැබීමත් සමගය.

“එක්සත් ජාතික පක්ෂයේ, දෙමළ ජාතික සන්ධානයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලකයන් ජාත්‍යන්තර ප්‍රජාව හමුවීම සිත්ගන්නා සුළුය. මැතිවරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ජනතාව සහ ප්‍රජාවන් ගේ ඉල්ලීම සලකා බලා ඔවුන් මුණ ගැසීමට වැඩි උත්සාහයක් දරන්නේ නම්, ශ්‍රී ලංකාවට සිය පූර්ණ ශක්‍යතාව කරා ළඟා විය හැකිය,” යි නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ට්විටර් පණිවිඩයක ලියා තිබුනි.

එම ප්‍රකාශයට කැනඩා දූත මණ්ඩල ප්‍රධානියා සැනින් ප්‍රතිචාර දක්වා තිබුනේ දැඩි ලෙසිනි.

“පොදුජන පෙරමුණේ සගයන්ගෙන් ඒගොල්ලෝ හම්බවෙන්නේ කවුදැයි අහලා බැලුවානම් හොඳයි,” යනුවෙන් මහකොමසාරිස් ඩේවිඩ් මැකිනොන් ට්විටර් මගින්ම පිළිතුරු දී තිබුනි.

ශ්‍රී ලංකාවේ දේශපාලකයන් හමුවීම සම්බන්ධයෙන් කැනඩා දූත මණ්ඩල ප්‍රධානියාට එරෙහිව නැගෙන විවේචන අසාධාරණ බව පවසන ජර්මන් තානාපතිවරයා කියා සිටියේ දෙමළ ජාතික සන්ධානය හමුවීමට ආරාධනා ලැබුනේ එජනිස හමුවෙන් අනතුරුව බවයි.

ජනාධිපති, කතානායක සහ වෙනත් අදාළ පාර්ශවද හමුවීමටද රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාව ගිය වග තවත් ට්විටර් පණිවිඩයකින් දැනුම් දෙන තානාපති ජෝන් රෝඩ් පවසා ඇත්තේ “හැම පාර්ශවයකටම ඇහුම්කන් දෙන එක අපේ රස්සාව” බවයි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මුල්වී පිහිටුවන ලද මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් යුත් පරිපාලනය කඩිනමින් ඉවත් කරලීමට ජාත්‍යන්තරය මුල්වී කටයුතු කළ යුතුයැයි විදේශීය දූත මණ්ඩල ප්‍රධානීන් මාර්ගයෙන් ඉල්ලා සිටි බව දෙමළ ජාතික සන්ධානය ප්‍රකාශයට පත් කර තිබුනි.

තමන්ගේ ඉල්ලීම කුමක් වී දැයි එජනිස හෝ පොදුජන පෙරමුණ හෝ ප්‍රකාශයට පත් කර නැත.

Related posts

Comments are closed.

Top