බලය බෙදීමට විරුද්ධව රනිල් කටයුතු කළ බවට ජනාධිපතිගෙන් චෝදනා | VIDEO

සිව් වසරකට ආසන්න කාලයක් පවත්වාගෙන ගිය රජයේ අසාර්ථක භාවයට තමන් සමග හවුලේ ආණ්ඩු කළ අගමැතිවරයාට ප්‍රසිද්ධියේ දැඩි ලෙස දෝෂාරෝපණය කරන ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රශ්නය විසඳීම සඳහා බලය බෙදීමට අසමත් වීම සම්බන්ධයෙන් ද රනිල් වික්‍රමසිංහට වරද පවරයි.

බලය විමධ්‍යගත කිරීම සඳහා “ලොකුවට කතා කරන” එක්සත් ජාතික පක්ෂ නායකයා මේ වනවිට බෙදා ඇති බලතල ආපසු පවරා ගැනීම සඳහාත් කැබිනට් මණ්ඩලයට යෝජනා ඉදිරිපත් කළ බව ජනාධිපතිවරයා විසින් ප්‍රකාශ කරන ලද්දේ ශ්‍රී ලංකාවේ සිටින විදේශීය මාධ්‍යවේදීන් සමගයි.

“රනිල් වික‍්‍රමසිංහ මහත්තයා මේ බලය බෙදීම ගැන ලොකුවට කතා කරන කෙනෙක්. මට වඩා හුඟාක් එහා ගිහින් ඉන්න එක්කෙනෙක්. නමුත් පසුගිය අවුරුදු තුන හමාරකට වැඩි කාලය තුළ ඔහු බෙදුණු බලය ආපහු ගන්න කැබිනට් මණ්ඩලයට යෝජනා ගණනාවක් ගෙනාවා,” යි ජනාධිපති සිරිසේන මාධ්‍යවේදීන් අමතා කියා සිටියේය.

“පළාත් සභාවල දැනට තිබෙන බලය ආපසු ආණ්ඩුවට ගන්න, බලය බෙදීම වෙනුවට දීලා තියෙන දේත් ආපහු ගන්න ඔහු කැබිනට් මණ්ඩලයට යෝජනා රාශියක් ගෙනාවා. පළාත් පළාන, අධ්‍යාපන, ආර්ථික කටයුතු, තිරසර සංවර්ධනය, පරිසරය, ඒ වගේ දේවල්වලදි පළාත් සභාවට තිබෙන බලය ආපසු ගන්න ඔහු යෝජනා රාශියක් ගෙනාවා.”

කෙසේවෙතත්, රාජපක්ෂ වරුන් පවසන්නේ නව ව්‍යවස්ථාවක් රටට හඳුනවා දී පළාත් සභාවලට බලය වැඩි කිරීමට රනිල් වික්‍රමසිංහ දැරූ උත්සාහය පාර්ලිමේන්තු ධුර කාලය හමාර වීමට පෙර බලය පවරා ගැනීමට හේතුවූ බවයි.

“පැවැති රනිල් වික්‍රමසිංහ පාලනය ගෙන ඒමට උත්සාහ කළ නව ව්‍යවස්ථාව නිසා රටට විශාල විනාශයක් සිදුවීමට තිබුණා. පෙඩරල් රාජ්‍යයත් නිර්මාණය කිරීම ඔවුන්ගේ අරමුණ වුණා,” යි ගෝඨාභය රාජපක්ෂ කොස්ගම පැවති ප්‍රසිද්ධ රැස්වීමක් අමතා කියා තිබුනි.

“ඒ නව ව්‍යවස්ථාව අනුව රටේ ජනාධිපතිවරයා පත් කිරීමට යෝජනා කර තිබුණේ පාර්ලිමේන්තුව තුළින්. ඒ ජනාධිපතිවරයා බල රහිත ජනාධිපතිවරයෙක්. උත්සව වලට සහභාගි වන ජනාධිපතිවරයෙක් පමණයි. පාර්ලිමේන්තුව සහ දෙවන සභාවක් ගැනද එහි කියවෙනවා. පළාත් සභාවන්ටද බලය වැඩිකරනවා.”

දුශිතයන්ගේ නඩු යට යාම

දුෂිතයන්ට දඬුවම් කරන බවට බලයට පත්වීමට පෙර  දුන් පොරොන්දු ඉටු කිරීමට නොහැකිවීම සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයා දොස් පැවරුවේ එක්සත් ජාතික පක්ෂයටයි.

“නඩු හරියට කෙරුන් නැති වුනේ ඇයි, නඩු යට ගියේ ඇයි, සම්පුර්ණයෙන්ම ඒගොල්ලන්ගේ වගකීම,” යි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ප්‍රකාශ කළේය.

“මගේ අතේ පොලිසිය තිබුනෙත් නෑ. සී අයිඩිය තිබුනෙත් නෑ, නීතිපති දෙපාර්තමේන්තුව තිබුනෙත් නෑ, අධිකරණ අමාත්‍යාංශය තිබුනෙත් නෑ, ඒවා ඔක්කොම තිබුනේ එක්සත් ජාතික පක්ෂය අතේ. ”

රනිල් වික්‍රමසිංහ සහ සාගල රත්නායක දෙදෙනා සෘජුවම ඊට වගකිව යුතු බවට ඔහු චෝදනා කළේය.

රනිල් වික‍්‍රමසිංහ අගමැති ධූරයේ කටයුතු කළ සමය ලෙස හඳුන්වනු ලැබූ  2015 සිට 2018 ඔක්තෝබර් 25 දක්වා කාලය තුළ ආණ්ඩුවේ සිදුවූ වංචා, දූෂණ සෙවීමට ජනාධිපති කොමිෂන් සභාවක් පත් කිරීමේ අපේක්ෂාව ජනාධිපතිවරයා විසින් එහිදී පල කරන ලදී.

“ඒ තරම් බරපතළයි ප‍්‍රශ්නය. ඒවා සොයනකොට මහ බැංකුවට වඩා බරපතළ දේවල් හෙළි වෙයි. ඒ නිසා දූෂණය, වංචාව, හොරකම රාජ්‍ය බලය අයුතු ලෙස භාවිතා කිරීම, මේවා අසීමිත වුණා. ඉහ වහා ගියා.”

කොමිසමට එජාප එකඟයි

දූෂණ වංචා විභාග කිරීමේ කොමිෂන් සභාවක් පිළිබඳව ප්‍රසාදය පල කරන එක්සත් ජාතික පක්ෂය එම විමර්ශනයෙන් ගැලවී නොයන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී.

ජනාධිපතිවරයා සඳහන් කරන කාල වකවානුවේ ක්‍රියාත්මක වූ රජය “කිසිදු ලෙසකින් හෝ රනිල් වික්‍රමසිංහ රජයක් ලෙස හඳුන්වා දිය නොහැකිය” යනුවෙන් පවසන එජාප සභාපති වරයා වරදක් වී නම් ජනාධිපතිද එහි සම හවුල්කරුවකු වන බව අවධාරණය කරයි.

“ජාතික සම්මුති ආණ්ඩුවට නායකත්වය දුන් ජනාධිපතිවරයා රාජ්‍ය නායකයා පමණක් නොව ආණ්ඩුවේ ප්‍රධානියාද වෙයි,” යනුවෙන් සභාපති කබීර් හෂීම් නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.

“සියලු තීරණ ගනු ලැබුවේ ජනාධිපතිවරයා මුලසුන හෙබවූ කැබිනට් මණ්ඩලයක් විසිනි. ජනාධිපතිවරයා කියන ආකාරයේ දූෂණ පසුගිය අවුරුදු තුනහමාර තුළ සිදුවූයේ නම් එහි වරද ජනාධිපතිවරයා ද සමාන ලෙසින් බාර ගත යුතු වෙයි.”

රනිල් වික්‍රමසිංහ බලය විමධ්‍යගත කිරීමට බාධා කළ බවට ජනාධිපතිවරයා නගන චෝදනා ඇතුලත් වීඩියෝ දර්ශන ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් මාධ්‍යවේදීන්ට ලබා දී නොමැත.

බලය බෙදීමට එරෙහිවීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා නගන චෝදනා පිළිබඳව එක්සත් ජාතික පක්ෂය මේ වනතුරු ප්‍රතිචාර දක්වා නොමැත.

Related posts

Comments are closed.

Top