පොලිසිය මගහැර සිටි ඉහළම හමුදා ලොක්කා උසාවි ආ දවසේ රිමාන්ඩ් | VIDEO

නාවික හමුදා නිලධාරීන් විසින් කරන ලද බවට සාක්ෂි ඉදිරිපත් වී ඇති බරපතල ගනයේ අපරාධ පිළිබඳ රහස් පොලිස් පරීක්ෂණ වලට අවහිර කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති ශ්‍රී ලංකා සන්නද්ධ සේවාවේ ඉහලම නිලධාරියා රිමාන්ඩ් භාරයට පත් කර තිබේ.

දෙමාසයකට වැඩි කාලයක් තිස්සේ පොලිසිය මගහරිමින් සිටි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවින්ද්‍ර විජේගුණරත්න අධිකරණය හමුවට ආ මුල් දිනයේම කොටුව මහේස්ත්‍රාත් වරයා විසින් සතියකට රිමාන්ඩ් භාරයට පත් කරන ලදී.

සැකකරු වර්තමානයේ දරන නිලය හා තනතුර හේතුවෙන් විමර්ශනයට බාධා පැමිණිය හැකි බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට දැනුම් දෙන ලදී.

අද්මිරාල් විජේගුණරත්න නොවැම්බර් 5 දා දක්වා රිමාන්ඩ් භාරයට පත් කරමින් කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක ප්‍රකාශ කර ඇත්තේ ඔහුට ඇප ලබා දුනහොත් විමර්ශනයට හා සාක්ෂිකරුවන්ට බාධා පැමිණෙතැයි විශ්වාස කළ හැකි බවයි.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා පෙරවරුවේ අධිකරණයට පැමිණ සිටියේ හමුදා නිල ඇඳුමින් සැරසී නාවික භටයන් පිරිවරාගෙන බව අපේ වාර්තාකරු පවසයි.

උසාවි විවේකයෙන් පසු ඔහු පැමිණ සිටියේ සිවිල් ඇඳුමිනි.

යුද සමයේදී කොළඹ සහ ඒ අවටදී පුද්ගලයන් එකොලොස් දෙනකු පැහැරගෙන ගොස්, වද දී අතුරුදහන් කළ බවට සැක කෙරෙන නාවික හමුදා නිලධාරියකුට නීතියෙන් වසං වී සිටීමට උපකාර කළ බවට චෝදනා ලබන  රවීන්ද්‍ර විජේගුණරත්න එම නඩුවේ දෙවැනි විත්තිකරු ලෙස නම් කරන ලදී.

එම පිරිස ඝාතනය කර ඇති බවට විශ්වසනීය සාක්ෂි ඇතැයි රහස් පොලිසිය මීට ඉහතදී අධිකරණයට දැනුම් දී තිබේ.

එකී අපරාධ සම්බන්ධයෙන් පවරා ඇති නඩුවේ ප්‍රධාන සාක්කිකරුවකු වන ලුතිනන් කොමදෝරු ලක්සිරි ගලගමට ඉකුත් සති අන්තයේ නාවික හමුදා මුලස්ථානය තුලදී ආරක්ෂක භටයන් යොදවා පහර දී පැහැරගෙන යාමට තැත් කිරීම පිළිබඳවද අද්මිරාල් වරයාට විරුද්ධව පොලිසියේ පැමිණිල්ලක් තිබේ.

පුද්ගලයන් කණ්ඩායම අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ප්‍රධාන රහස් පරීක්ෂකයා ට එරෙහිව අසත්‍ය චෝදනා නගා ඔහු විමර්ශන වලින් ඉවත් කිරීම සඳහා සැකකාර  ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා විසින් දරන ලද උත්සාහයක්ද මේ වනවිට හෙළිදරව් වී ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා එල්ටීටීඊ සංවිධානයට සම්බන්ධ බවට අද්මිරාල් විජේගුණරත්න විසින් ආරක්ෂක මණ්ඩල රැස්වීමේදී නගන ලද අසත්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් පොලිස්පති වරයා ආරක්ෂක ලේකම් වරයාට ලිඛිතව දන්වා යවා තිබුනි.

එම චෝදනාවෙන් පසු ජනාධිපති විසින් පොලිස් පරීක්ෂකයා මීගමුවට මාරු කර යවා තිබුනත් දේශීය හා ජාත්‍යන්තර විරෝධය හමුවේ ඔහුගේ මාරුව අවලංගු කර තිබුනි.

කටඋත්තර ලබාගැනීම සඳහා රහස් පොලිසිය අද්මිරාල් විජේගුණරත්නට කැඳවා තිබුනේ සැප්තැම්බර් 10 දාය.

ඒ සඳහා නොගිය ඔහු මෙක්සිකෝවේ රාජ්‍ය උත්සවයකට සහභාගි වන්නට යවා තිබු අතර ශ්‍රී ලංකාවට පෙරලා පැමිණ දෙමාසයකට වැඩි කලක් ගතවුවත් පරීක්ෂණ මගහැර සිටියේය.

අන්තිමේදී ඔහු අධිකරණයට පැමිණ ඇත්තේ අත් අඩංගුවට ගැනීමේ වරෙන්තු දෙකක්ම නිකුත් කිරීමෙන් අනතුරුවය.

තමන්ට එරෙහි චෝදනා ප්‍රතික්ෂේප කරන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා දෙසැම්බර් 5 දා නැවත අධිකරණය හමුවට පැමිණීමට නියමිතය.

අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න නඩු විභාගයට සහභාගි වනු ඡායාරූප ගතකළ මාධ්‍යවේදී ඉන්දික හඳුවෙලට අධිකරණ භූමියේදී පහර දුන් නාවික හමුදා නිලධාරියකු පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන නිදහස් කර යවා තිබේ.

බරපතල අපරාධ කළ බවට චෝදනා එල්ලවන ආරක්ෂක හමුදා නිලධාරීන් සම්බන්ධ පරීක්ෂණ වලට ජනාධිපතිවරයාගෙන්ම බාධා පැමිණෙන බව ඉහළ පොලිස් නිලධාරීන් මෙන්ම දේශීය හා ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානද කිහිප වාරයක් චෝදනා කර ඇත.

Related posts

Comments are closed.

Top