දෙමළ මහවිරු සමරුව උතුරු නැගෙනහිර පුරා | VIDEO

තම අයිතිය උදෙසා සටන් වැදී මියගිය මහවිරුවන් දෙමළ ජනතාව විසින් මලින්, ගඳින්, දීපයෙන් සහ කඳුලින් උතුරු නැගෙනහිර පුරා බැතියෙන් යුතුව සමරන ලදී.

දෙමළ වාසභූමි පිහිටි සෑම දිස්ත්‍රික්කයකම පාහේ පැවති අනුස්මරණෝත්සව සඳහා දහස් සංඛ්‍යාත ජනකායක් සහභාගි වූ බව ගගන වාර්තාකරුවෝ පවසති.

මහවිරු සමරු සියල්ලක්ම ආරම්භ කෙරුනේ යුදබිමේ මියගිය එල්ටීටීඊයේ පළමුවැන්නා වන  සත්‍යනාදන් හෙවත් ලුතිනන් ශංකර් මරුමුවට පත්වූ වෙලාව වන පස්වරු 6.05 ට පහන් දල්වමිනි.

ප්‍රදේශය පුරා විසිරී පැවති එල්ටීටීඊ ය විසින් ස්ථාපිත මහවිරු සුසාන භූමි 2009 න් පසු බලය තහවුරු කරගත් රජයේ ආරක්ෂක සේනා විසින් විනාශ කර දමා තිබුනද, සොහොන් කොත් නොමැති පොළොවේ මියගිය ඥාතීන්ගේ ඡායාරූප තබා නෑසියන් විසින් සාමුහිකව පුෂ්පදීප උපහාර පවත්වන ලදී.

උසාවි නියෝග මගින් මහවිරු සමරු වළක්වාලීමට ඇතැම් ප්‍රදේශවල පොලිස් බලධාරීන් වීරිය කළද අධිකරණය විසින් නියම කර තිබුනේ දෙමළ විමුක්ති කොටි සංවිධානයේ ධජ හා සංකේත ප්‍රදර්ශනය කිරීමෙන් වලකින ලෙසයි.

එසේ වෙතත්, රජයේ ආරක්ෂක අංශ බවට සැක කෙරෙන කණ්ඩායමක් විසින් පේදුරු තුඩුවේ සමරුව  සංවිධානය කිරීමට මුල්වූ තරුණයාගේ නිවසට අවි ගෙන කඩා වැදී අලාභ හානි කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම් කේ සිවාජිලිංගම් චෝදනා කරයි.

Related posts

Comments are closed.

Top