මාධ්‍යවේදී ඝාතන විභාග වලට ජනපති බාධා කරන බව හිටපු උපදේශකයෙක් කියයි | VIDEO

රාජපක්ෂ පාලන සමයේ මරා දමන ලද මාධ්‍යවේදීන් පිළිබඳ පරීක්ෂණ වලට බාධා කරන්නේ ජනාධිපතිවරයා බවට යහපාලනයේ මාධ්‍ය උපදේශක වරයකු චෝදනා කරයි.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන සමයේ අපරාධ සම්බන්ධයෙන් පියවර ගැනීම සඳහා ලක්ෂ 62 ක ජනතාවක් බලයට පත් කළ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන යුක්තිය ඉටු නොකළ බවට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ හිටපු ප්‍රවෘත්ති උපදේශක ෆ්‍රෙඩී ගමගේ කියා සිටියේ රාජපක්ෂ වාදීන් රාජ්‍ය මාධ්‍ය අත්පත් කරගෙන සිටීමට එරෙහිව ලේක්හවුස් මන්දිරය ඉදිරිපිට පවත්වන ලද විරෝධතාවකට එක් වෙමිනි.

“මේ නීතිමය කටයුතු හරියට යන්න දෙන්නේ නැතිව ඒවාට බාධා පමුණුවන්නේ වෙන කවුරුත් නෙවෙයි, මේ රටේ ජනාධිපතිවරයා,” යි ෆ්‍රෙඩී ගමගේ පැවසීය.

ජනාධිපති විසින් මහින්ද රාජපක්ෂ අගමැති ලෙස පත් කිරීමෙන් අනතුරුව ප්‍රචණ්ඩ ලෙස රාජ්‍ය මාධ්‍ය පවරා ගත් ඔවුන්ගේ ආධාරකරුවන් අසත්‍ය වාර්තා පල කිරීමට එරෙහිව පවත්වන ලද විරෝධතාවට මාධ්‍ය ක්‍රියාධාරීන්ට අමතරව ඔක්තෝබර් 26 දා දක්වා එම මාධ්‍ය ආයතන වල  ඉහල තනතුරු හෙබවූ නිලධාරීන් හා නිලධාරිනියන්ද එක්ව සිටියහ.

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හිටපු සභාපතිනි ඉනෝකා සත්‍යාංගනී පවතින තත්වය හැඳින්වුයේ “නිදහස අත් අඩංගුවට ගෙන තිබෙන අවස්ථාවක්” ලෙසයි.

රට කරන ආණ්ඩුව කාගේදැයි ව්‍යාකුල භාවයක් පැවතියදී බලය තහවුරු කරගැනීම වෙනුවෙන් සටන් වැදී සිටින දේශපාලන කණ්ඩායම් දෙකින් එකක මන්ත්‍රීවරුන් පිරිසක් අමාත්‍යවරුන් ලෙස හැඳින්වීම උද්ඝෝෂකයන්ගේ දැඩි දෝෂ දර්ශනයට ලක්විය.

එම ඒක පාර්ශවීය වාර්තාකරණය මාධ්‍ය සදාචාරය කෙලෙසීමක් බව විරෝධතාව සංවිධානය කළ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍ය පෙරමුණේ කැඳවුම්කාර කේ සංජීව ප්‍රකාශ කළේය.

විරෝධතාවට එක්ව සිටි ජනමාධ්‍ය ක්‍රියාධර සම්පත් සමරසිංහ දැන් රාජ්‍ය මාධ්‍ය වල මුල් පුටු හොබවන පුද්ගලයන් අරාජිකත්වය සහ අශිෂ්ටත්වය වෙනුවෙන් පෙනී සිටින්නන් ලෙස හෙලා දුටුවේය.

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ තවත් හිටපු සභාපතිවරයකු වන නීතිඥ රවි ජයවර්ධන මෛත්‍රී – මහින්ද පරිපාලනය විසින් පත් කරන ලද රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන්ට බලකර සිටියේ ඉල්ලා අස්වන ලෙසයි.

රාජ්‍ය මාධ්‍යයේ හෝ වේවා පෞද්ගලික මාධ්‍යයේ හෝ වේවා සදාචාර සම්පන්න භාවයක් ඇති කරගැනීම විරෝධතාවයේ අරමුණ බව ස්වාධීන රූපවාහිනියේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ ධනුෂ්ක රාමනායක පැවසීය.

දිවයිනේ මුල් පෙලේ ජනමාධ්‍ය සංවිධාන එක්වී 1998 දී මුල්වරට කෙටුම්පත් කොට 2008 දී සම්මත කරගන්නා ලද මාධ්‍ය නිදහස හා සමාජ වගකීම පිළිබඳ කොළඹ ප්‍රකාශනය නිර්දේශ කර ඇත්තේ රාජ්‍ය මාධ්‍ය රාජ්‍ය පාලනයෙන් ඉවත් කළ යුතු බවටයි.

පැවති කිසිදු රජයක් හෝ ඒ ආණ්ඩු විසින් පත් කරන ලද මාධ්‍ය ආයතන ප්‍රධානීන් හෝ එම නිර්දේශ ක්‍රියාත්මක මේතාක් ක්‍රියාවේ යෙදවීමට පියවර ගෙන නොමැත.

Related posts

Comments are closed.

Top