මහින්දගේ අගමැතිකම උසාවියෙන් තහනම්: ශ්‍රී ලංකාවට ආණ්ඩුවක් නෑ |AUDIO

කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ අගමැති ලෙස පෙනී සිටීම අධිකරණයෙන් තහනම් කිරීමත් සමග ශ්‍රී ලංකාවේ අරාජික තත්වයක් උදාවී තිබේ.

රනිල් වික්‍රමසිංහ ධුරයෙන් පහ කරමින් ජනාධිපතිවරයා විසින් පත් කරන ලද අගමැති  ඇතුළු මන්ත්‍රීවරුන් 49 දෙනකු අමාත්‍ය මණ්ඩලය ලෙස නිලතල දැරීම වලක්වා ලමින් අභියාචනාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමෙන් පසු රටේ ආණ්ඩුවක් නැතැයි නීති විශාරදයෝ පෙන්වා දෙති.

අභියාචනාධිකරණ සභාපති ප්‍රීති පද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර යන ද්විපුද්ගල විනිසුරු මඬුල්ල මෙම නියෝගය ලබා දුන්නේ අගමැති හා ඇමැති මණ්ඩලයක් ලෙස පෙනී සිටීමට මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ පාර්ශවකාර මන්ත්‍රීවරුන්ට බලයක් නැතැයි නියම කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රී කණ්ඩායමක් විසින් ගොනු කළ පෙත්සමක් සම්බන්ධයෙන් දෙදිනක් කරුණු විමසීමෙන් අනතුරුවය.

අගමැති හා කැබිනට් අමාත්‍යවරුන් ලෙස කටයුතු කිරීමට හිමිකමක් නොමැති පුද්ගලයන් එම ධුර වල හිඳීමෙන් ආපසු හැරවිය නොහැකි හානියක් සිදුවනු ඇතැයි අධිකරණය විසින් ප්‍රකාශයට පත් කරන ලදී.

එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සහ සමස්ත ලංකා මහජන කොංග්‍රසය යන පක්ෂ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 122 දෙනකු විසින් පෙත්සම ඉදිරිපත් කර තිබුනි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් පත් කරන ලද නිලතල දරනු ලබන්නේ කවර බලයක් යටතේද යනුවෙන් දෙසැම්බර් 12 දා කරුණු දක්වන ලෙස ද ධුර තහනම් කරනු ලැබූ මන්ත්‍රීවරුන්ට අභියාචනාධිකරණය නියම කර තිබේ.

නඩු විභාගය අවසන් වනතුරු උසාවි තහනම බල පැවැත්වෙයි.

අභියාචනාධිකරණය විසින් ලබා දුන් අතුරු තහනම් නියෝගයට එකඟ නොවන බව පවසන මහින්ද රාජපක්ෂ එයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත දෙසැම්බර් 4 දා “ආරම්භක පැයේදීම” අභියාචනයක් ඉදිරිපත් කරන බව කිසිදු නිලයක් සඳහන් නොවන  පුද්ගලික ලිපි ශීර්ෂයෙන් නිකුත් කරන නිවේදනයකින් කියා සිටී.

අභියාචනයක් ඉදිරිපත් කළ පමණින් අතුරු තහනම් නියෝගය අවලංගු වන්නේ නැති බව  ජනාධිපති නීතිඥ සාලිය පීරිස් පවසයි.

“අභියාචනාධිකරණයේ අතුරු නියෝගය කට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කළ පමණින් එය බලාත්මක වීම නවතින්නේ නැත. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අභියාචනාධිකරණයේ අතුරු නියෝගයක් අත්හිටවන තුරු එය වලංගුව පවතී,” යි ඔහු විසින් නිකුත් කරන ලද ට්විටර් නිවේදනයක දැක්වේ.

අතුරු තහනම් නියෝගය සමගම ශ්‍රී ලංකාවට ආණ්ඩුවක් නැතිව යන බව ආණ්ඩුකරණය පිළිබඳ විශ්ලේෂකයෙක් පවසයි.

“දැනට ලංකාවේ අපිට ආණ්ඩුවක් නෑ,” යි විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු ගගන හා කියා සිටියේය.

“ඔක්තෝබර් 26 වැනිදාට ඉස්සරවෙලා තිබුණු ආණ්ඩුවත් නෑ. දැනට තියෙන ආණ්ඩුවත් මේ තීන්දුවට පස්සේ නෑ.”

අගමැතිවරයකු හෝ ආණ්ඩුවක් නැති කලෙක මහින්ද රාජපක්ෂගේ අගමැති ධුරයට එරෙහිව පාර්ලිමේන්තුවේ විශ්වාස භංග යෝජනාවක් ගෙන ඒමද කළ නොහැකි කටයුත්තක් බවට පත් වී ඇති බව ආචාර්ය සරවනමුත්තු පෙන්වා දෙයි.

නැවත පාර්ලිමේන්තුව රැස්වන විට ආණ්ඩු පක්ෂය හා විරුද්ධ පක්ෂය ලෙස මන්ත්‍රීවරුන් අසුන් ගැන්වීම සම්බන්ධයෙන් කතානායකවරයාද ගැටලුවකට මැදිවනු ඇති බවට විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ වරයා පිළිගත්තේය.

පාර්ලිමේන්තුව අත්හිටුවා ආණ්ඩුවක් වෙනස් කිරීමෙන් ජනාධිපතිවරයා විසින් ආරම්භ කරන ලද ක්‍රියාමාර්ගය නිසා ශ්‍රී ලංකාව වැටී සිටින පෙර නොවූ විරූ අර්බුදයෙන් ගැලවීමේ මාර්ගය ලෙස ආචාර්ය සරවනමුත්තු අවධාරණය කරන්නේ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේ බහුතරය සතු පුද්ගලයා යටතේ ආණ්ඩුවක් ප්‍රකාශයට පත් කිරීමයි.

බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක බලය තමන් සතු බව පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීම් කිහිපයකින් තහවුරු කර ඇතැයි පෙන්වා දෙන එක්සත් ජාතික පක්ෂය පවසන්නේ තමන් අගමැති ධුරයට නම් කරන්නේ රනිල් වික්‍රමසිංහ බවයි.

කෙසේවෙතත්, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසා ඇත්තේ තමන්ගේ “ජීවිතේට” රනිල් වික්‍රමසිංහ අගමැති ලෙස පත් නොකරන බවයි.

ජනාධිපතිවරයාගේ ප්‍රකාශය සිනහවෙන් යුතුව බැහැර කරන විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු පෙන්වා දෙන්නේ එක් පක්ෂයක නායකත්වය තීරණය කිරීමේ අයිතිය තවත් පක්ෂ නායකයකුට හිමි රාජකාරියක් නොවන බවයි.

Related posts

Comments are closed.

Top