මේ සෙල්ලම නවත්වා ව්‍යවස්ථාවට අනුව ඡන්දය තියමු: රනිල් | VIDEO

ජනාධිපතිවරයාට තනි මතයට අනුව කටයුතු කළ නොහැකි බව අවධාරණය කරන එක්සත් ජාතික පක්ෂ නායකයා “හිට්ලර් මෙන් කටයුතු නොකර” ව්‍යවස්ථාව අනුව පියවර ගන්නා ලෙස බලකර සිටී.

මහින්ද රාජපක්ෂ ඇතුළු මන්ත්‍රීවරුන් අගමැති සහ ඇමැති වරුන් ලෙස කටයුතු කිරීම අභියාචනාධිකරණය විසින් අත්හිටුවීමට පසුදා එජාප නායක රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ උසාවි තීන්දුවට ගරු කරමින් ව්‍යවස්ථාව ආරක්ෂා කළ යුතු බවයි.

“අපි කියන්නේ මේ සෙල්ලම නවත්තන්න ඕනේ,” යි රනිල් වික්‍රමසිංහ කොළඹදී මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේය.

“මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාත් මේ ඇමැති කියලා කාඩ් බෝඩ් උස්සගෙන ගිය අයත්, සියළු දෙනාම දැන් ව්‍යවස්ථාව අනුව වැඩකරන්න කියලයි මෙතන ඉඳන් කියන්නේ. මොකද අපි හැම එක්කෙනාම ව්‍යවස්ථාව ආරකෂා කරන්න දිවුරුම් දීලා තියෙන්නේ, ඒ ව්‍යවස්ථාව ආරක්ෂා කරන්න බැරිනම් මෙතන ඉන්න අයිතියක් නැහැ.”

මහ මැතිවරණයක් පවත්වන ලෙස රාජපක්ෂ වාදීන් කරන ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් හිටපු අගමැතිවරයා කියා සිටියේ ඒ සඳහා නීත්‍යානුකුල ආණ්ඩුවක් පිහිටුවා සියලු පක්ෂ වල එකඟතාව ලබා ගත යුතු බවයි.

“නීත්‍යානුකුල ආණ්ඩුවක් නැතිව තමන්ගේ කැමැත්තෙන් ඡන්දේ ප්‍රකාශ කරනවා කියන අය ඡන්දෙට බයයි.”

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ක්‍රියාකලාපය හරස් කරමින් අධිකරණය විසින් දෙන ලද තීන්දු ප්‍රශංසාවට ලක් කළ රනිල් වික්‍රමසිංහ එය හැඳින්වූයේ යහපාලනයේ ජයග්‍රහණයක් ලෙසයි.

Related posts

Comments are closed.

Top