ජනපති රනිල් පත් කිරීමට බෑ කියා එජාපය සමග සාකච්ඡා බිඳ වැටේ | VIDEO

ශ්‍රී ලංකාවේ අගමැති ධුරයට රනිල් වික්‍රමසිංහ නැවත පත් කිරීමට ජනාධිපතිවරයා පෑ දැඩි විරෝධය නිසා ඔහු සමග එක්සත් ජාතික පක්ෂය පැවැත්වූ සාකච්ඡා අසාර්ථක වී තිබේ.

සඳුදා පස්වරුවේ පැවති සාකච්ඡාවෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයා කියා සිටියේ රනිල් වික්‍රමසිංහ අගමැති වෙනුවට “එතුමාට වැඩ කරන්න පුළුවන් කෙනෙක්” ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඉල්ලා සිටි බවයි.

“ගල් ඉන්න ගිල්ලා වගේ රනිල් මං පත් කරන්නේ නෑ කියනවා,” යි  ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා ජනාධිපති ස්ථාවරය මාධ්‍යවේදීන්ට කියා සිටියේය.

“රනිල් වික්‍රමසිංහට 225ක් අත්සන් කරලා දුන්නත් බෑ කියලා තමයි ජනාධිපතිතුමා කියන්නේ,”

පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය යනු බහුතරය කැමති පුද්ගලයා මිස ජනාධිපති කැමති පුද්ගලයා නොවන බව එක්සත් ජාතික පක්ෂය අවධාරණය කරයි.

රටේ දේශපාලන අර්බුදය විසඳීමේ අරමුණින් එජාපය හා ජනාධිපති අතර සාකච්ඡා පැවැත්වුනේ මහින්ද රාජපක්ෂ අගමැති ධුරයේ කටයුතු කිරීම අභියාචනාධිකරණය විසින් අත්හිටුවා රටේ ආණ්ඩුවක් නොමැති පරිසරයකය.

“අඩියක් පස්සට අරගෙන එතුමා ඇති කරපු ව්‍යසනය නිම කරන්න පාර්ලිමේන්තුවේ බහුතරයක කැමැත්ත තියෙන රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයට පත් කර කැබිනට් මණ්ඩලය පත් කරන්න,” එජාප නියෝජිතයන් ජනාධිපතිවරයාට යෝජනා කර තිබේ.

පාර්ලිමේන්තුවේ බහුතරයක මනාපය ඇත්තේ රනිල් වික්‍රමසිංහට බව පෙන්වා දෙන එජාප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් පවසන්නේ ජනාධිපතිවරයාගේ කැමති පරිදි අගමැතිවරයකු පත් කිරීමට ඉඩ සැලසීම වැරදි පුර්වාදර්ශයක් බවයි.

නායකත්වය සම්බන්ධයෙන් එජාපයට තීන්දු ගත යුතු ආකාරය වෙනත් පක්ෂයක නායකයකු වන ජනාධිපතිවරයා විසින් යෝජනා කරනු ලැබීම එජාප ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයා විසින් කෝපයෙන් යුතුව  හඳුන්වන ලද්දේ “විකාරයක්” ලෙසයි.

“එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හරි පොහොට්ටුවේ හරි අගමැතිවරයා ගැන උනන්දු වෙන්න ඕනේ,” යි ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා කියා සිටියේය.

Related posts

Comments are closed.

Top