රනිල් යහපාලනය “දුෂණය කිරීම” ජනපති අවුරුදු තුනහමාරක් ඉවසලා  | VIDEO

තම හවුල් ආණ්ඩුවේ අගමැති වශයෙන් කටයුතු කළ රනිල් වික්‍රමසිංහ යහපාලනය කෙලෙසූ බවට දැඩි ප්‍රහාරයක් එල්ල කළ ජනාධිපතිවරයා එය අවුරුදු තුනහමාරක් තිස්සේම ඉවසා සිටි බව සිය පාක්ෂිකයන් හමුවේ කියා සිටියේය.

යහපාලනය සංකල්පය  “අමුඅමුවේ ඝාතනය කළා, විනාශ කළා, දුෂණය කළා” යයි  ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් රනිල් වික්‍රමසිංහට බරපතල ලෙස චෝදනා කරන ලද්දේ විශේෂ පක්ෂ සම්මේලනයකට කොළඹ සුගතදාස ගෘහස්ථ කී‍්‍රඩාංගණයට කැඳවන ලද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන් අමතමිනි.

රනිල් වික්‍රමසිංහගේ දේශපාලනය “අන්ත නව ලිබරල්වාදී, දක්ෂිණාංශික”  ප්‍රවාහයක් ලෙස හැඳින්වූ ජනාධිපතිවරයා “ඔහු යම් ප්‍රමාණයකට මාවත් විනාශ කළා” යි පැවසීය.

එම දේශපාලන ප්‍රවාහය නියෝජනය කරන එජාපය ද රනිල් වික්‍රමසිංහ නිසා විනාශයට පත්වූ බවට ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් හමුවේ ජනාධිපතිවරයා කනගාටු විය.

ඊට පිළිතුර හා විසඳුම ලෙස තම තීන්දුව වූයේ රනිල් වික්‍රමසිංහ “අගමැති පුටුවෙන් පන්නා දැමීම”  බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කියා සිටියේය.

(ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ සමුළුවේ දර්ශන ජනමාධ්‍ය වෙත ලබා දී තිබුනේ ජනාධිපති මාධ්‍ය ඒකකයෙනි)

Related posts

Comments are closed.

Top