“හිතුවක්කාර” ගුවන් විදුලි සංස්ථා සභාපති කතානායකගෙන් සමාව අයැදී | VIDEO

කිහිපවර කරන ලද දැනුම්දීම් නොසලකා හරිමින් පාර්ලිමේන්තුවේ රැස්වීම් සජීවී ලෙස ප්‍රචාරය නොකර සිටීම ගැන දැඩි දෝෂ දර්ශනයට ලක්වූ රාජ්‍ය ගුවන් විදුලියේ ප්‍රධානියා කතානායකවරයාගේ සමාව ඉල්ලා තිබේ.

ජනාධිපතිවරයා විසින් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අගමැති ලෙස නම් කිරීමෙන් අනතුරුව සභාපති ලෙස පත් කරන ලද ආචාර්ය සෝමරත්න දිසානායක පාර්ලිමේන්තුවේ මහලේකම් සහ මහලේකම් නියෝජ්‍ය මහලේකම් දෙදෙනාම දැනුම් දී තිබියදීත් පාර්ලිමේන්තු සැසිවාර ප්‍රචාරය අත් හිටුවීම කතානායකවරයා විසින් හඳුන්වන ලද්දේ හිතුවක්කාර ක්‍රියාවක් ලෙසයි.

මුදල් ද අයකරමින් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව කටයුතු කරන ආකාරය ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය උල්ලංඝනය කිරීමක් බව සභාව හමුවේ අවධාරණය කළ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා ඒ ගැන දැඩි පියවර ගන්නා ලෙස කතානායකවරයාගෙන් ඉල්ලා තිබුනි.

ඒ සම්බන්ධයෙන් වහාම පියවර ගන්නා බවට පාර්ලිමේන්තුව හමුවේ සහතික වූ කතානායකවරයා විසින් එදිනම පස්වරුවේ ගුවන් විදුලි සංස්ථා සභාපති ආචාර්ය සෝමරත්න දිසානායක සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි කැඳවා තිබුනි.

සජීවී විකාශනය අත්හිටුවීම සම්බන්ධයෙන් කතානායකවරයා හමුවේ කනගාටුව පලකළ සභාපතිවරයා “හැකි ඉක්මනින් එම තත්වය නිවැරදි කරනු ලබන බවට තහවුරු කළ” බව කතානායක මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව, ස්වාධීන රුපවාහිනී ආයතනය (ITN) එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම (ලේක්හවුස්) යන රාජ්‍ය මාධ්‍ය ආයතන වල ක්‍රියාකාරිත්වය පිළිබඳව පාර්ලිමේන්තුවේ දැඩි අවධානය යොමුවී ඇති බවද කතානායකවරයා විසින් ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම් සහ  ගුවන් විදුලි සංස්ථා සභාපති ට දැනුම් දී තිබේ.

එම ආයතනවල පාලනාධිකාරිය දැනට පවතින්නේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් පාර්ලිමේන්තුව අත්හිටුවා, රනිල් වික්‍රමසිංහ වෙනුවට අගමැති කමට මහින්ද රාජපක්ෂ පත් කිරීමත් සමගම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨයන් කැටුව ගිය ආධාරකරුවන් යටතේය.

Related posts

Comments are closed.

Top