අද්මිරාල්ගේ මරණීය තර්ජන ගැන පරීක්ෂණ කොටුව පොලිසියෙන් ඉවත් කරයි | VIDEO

නාවික හමුදා නිලධාරීන් සම්බන්ධ මහා පරිමාන අපරාධ නඩුවක සාක්ෂිකරුවකු තර්ජනයෙන් බිය ගැන්වීමේ චෝදනා නැගී තිබෙන රටේ ඉහළම හමුදා නිලධාරියා පිළිබඳ පොලිස් පරීක්ෂණ කොටුව පොලිස් ස්ථානයෙන් ඉවත් කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

කොළඹ සහ ඒ අවටින් 2008-2009 කාල වකවානුවේ 11 දෙනකු පැහැරගෙන ගොස් වධ දී අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් පවරා ඇති නඩුවක ප්‍රධාන සාක්ෂිකරුවකුට මරණීය තර්ජනය කිරීමේ චෝදනා නැගී තිබෙන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා (CDS) ගැන කොටුව පොලිස් ස්ථානය පරීක්ෂණ පවත්වන ආකාරය පිලිබඳ සෑහීමකට පත් නොවූ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක විසින් එම නියෝගය පනවන ලදී.

කොටුව පොලිස් ස්ථානාධිපති එම නඩුවට අදාළව “කිසි උනන්දුවක් නොමැති බව” පෙනී ගිය හෙයින් වෙනත් සුදුසු පොලිස් ස්ථානයකට හා නිලධාරියකුට එම විමර්ශන භාර කරන ලෙස අධිකරණය නියම කළ බව අතුරුදහන් කරනු ලැබුවන්ගේ ඥාතීන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ අචලා සෙනෙවිරත්න මාධ්‍යවේදීන් හා කියා සිටියාය.

සාක්ෂිකාර ලුතිනන් කොමදෝරු ලක්සිරි ගලගමගේට නාවික හමුදා මුලස්ථානය තුලදී අවිගත් ආරක්ෂක භට පිරිසක් යොදවා පහර දී පැහැරගෙන යාමට තැත් කිරීම පිළිබඳව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්නට විරුද්ධව පැමිණිලි කර ඇත්තේ කොටුව පොලිසියටයි.

කොටුව පොලිසිය විසින් අද්මිරාල් තැන සැකකරුවකු ලෙස නම් නොකිරීම හේතුවෙන් කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් ඔහුට ඇප නියම කරන ලදී.

චුදිතයා සාක්ෂිකරුවකුට තර්ජනය කිරීමේ අපරාධයට සැකකරුවකු ලෙස නම් කරනු ලැබුයේ නම් ඇප ලබා දීමේ බලය ඇත්තේ මහේස්ත්‍රාත් අධිකරණයට නොව අභියාචනාධිකරණයට බව විනිසුරුවරයා විසින් කොටුව පොලිස් ස්ථානාධිපතිවරයාට පෙන්වා දී තිබේ.

අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත නිදහස් කළ මහේස්ත්‍රාත් රංග දිසානායක සාක්ෂිකරුවන්ට බලපෑම් නොකරන ලෙස ඔහුට දැඩි ලෙස අවවාද කළේය.

එම නඩුව දෙසැම්බර් නැවත කැඳවා ඇත්තේ 16 දාටය.

නඩු විභාගය පැවැත්වෙද්දී නීතිඥ අචලා සෙනෙවිරත්න ට NGO මුදලින් යැපෙන අයකු ලෙස අපහාස කිරීම සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් වරයාගේ දෝෂ දර්ශනයට ලක්වූ අද්මිරාල් වෙනුවෙන් පෙනී සිටි  ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න විවෘත අධිකරණයේදී සමාව ඉල්ලා තිබේ.

අතුරුදහන් කරන ලද 11 දෙනා පිළිබඳ නඩුව නැවත කැඳවා ඇත්තේ දෙසැම්බර් 11 දිනටය.

එම අපරාධය සම්බන්ධයෙන් සැක කෙරෙන ලුතිනන් කොමදෝරු චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චිට නීතියෙන් වසං වී සිටීමට උපකාර කළ බවට ද ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා චෝදනා ලබයි.

 

Related posts

Comments are closed.

Top