රනිල් අගමැති යටතේ ආණ්ඩුව පිහිටුවන ලෙස සජිත් ජනපතිගෙන් ඉල්ලයි | VIDEO

රනිල් වික්‍රමසිංහගේ අගමැති කමින් ආණ්ඩුව නැවත පිහිටුවා ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දී සිටින දේශපාලන අර්බුදයෙන් ගලවා ගැනීමට දායක වන ලෙස සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී.

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා එම ඉල්ලීම කළේ ඔහු ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ලෙසින් කටයුතු කිරීමේ හැකියාව පිලිබඳ විශ්වාසය පල කෙරෙන යෝජනාවක් පාර්ලිමේන්තුවේ සම්මතය සඳහා භාර දී තිබියදීය.

අගමැතිවරයකු ලෙස මහින්ද රාජපක්ෂ කෙරේ විශ්වාසය කඩ වී ඇති බව මේ වන විට දෙවතාවක්ම මන්ත්‍රීවරුන් බහුතරයක් විසින් ප්‍රකාශයට පත් කර ඇතත්, ජනාධිපති වරයා එම පාර්ලිමේන්තු තීරණය පිළිගැනීම තදින් ප්‍රතික්ෂේප කර තිබේ.

“බහුතරය දී තිබෙන තීන්දුව ක්‍රියාත්මක කිරීමේ හැන්ද ඇත්තේ අතිගරු ජනාධිපතිතුමා අතේ,” යි සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විභාග කෙරෙනු දැකබලා ගැනීමට පැමිණි අවස්ථාවේය.

“මේ රටේ නීත්‍යානුකුල අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රමුඛ, ඒ එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව, ඒ එක්සත් ජාතික පෙරමුණ හා ඒකාබද්ධ වුනු ජාතික ආණ්ඩුව ස්ථාපනය කරන්නට” ජනාධිපතිවරයාට හැකියාව ලැබෙනු ඇති බවට ඔහු විශ්වාසය පල කළේය.

විසඳීමකින් තොරව මාසයකට වැඩි කලක් ඇදෙමින් පවතින අර්බුදකාරී දේශපාලන වාතාවරණය “ශෝචනීය තත්වයක්, ඓතිහාසික ඛේදවාචකයක්” ලෙස හැඳින්වූ එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා “ලක්ෂ 220 ක ජනතාව තඹ සතයකට වත් ගණන් ගන්නේ නොගෙන”  ආයෝජකයන් හා කර්මාන්තකරුවන් ශ්‍රී ලංකාව හැර යන බවට කනගාටුවට පත්විය.

මේ අතර 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ අඩුපාඩු සකස් කරගැනීම සඳහා පාර්ලිමේන්තුව ගන්නා ක්‍රියාමාර්ග වලට ජනාධිපතිවරයා එකඟතාව පල කර තිබේ.

“19 වන සංශෝධනයේ යම් කාර්ය පටිපාටිමය දුර්වලතා ඇත්නම්, ශ‍්‍රී ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයේ හරය සහ එමගින් ඇති කරනු ලැබු ප‍්‍රජාතන්ත‍්‍රවාදී සාරය ආරක්ෂා කර ගනිමින් එය තවදුරටත් පෝෂණය කරමින්, දේශපාලන වශයෙන් ගැටලු සහගත වන්නා වූ කරුණුවලට අදාළ සංශෝධන පාර්ලිමේන්තු කි‍්‍රයාමාර්ග අනුව සිදු කිරීමට ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා කැපවී සිටින බව අවධාරණය කරයි,” යනුවෙන් ජනාධිපති මාධ්‍ය අංශය විසින් දෙසම්බර 6 දා නිකුත් කළ නිවේදනයක දැක්වේ.

එම ව්‍යවස්ථා සංශෝධනය “දශක තුනක් තිස්සේ මෙරට ප‍්‍රජාතන්ත‍්‍රවාදය සම්බන්ධයෙන් පැවති ගැටලූකාරි තත්ත්වය විසදීම සඳහා” සම්මත කරගන්නා ලද බව නිවේදනයේ දැක්වෙතත්, අඩුපාඩු කවරේදැයි සඳහන් කර නැත.

ජනාධිපති වරයා කෙරේ විශ්වාසය තහවුරු වන්නේ “කියන දේ කෙසේ වෙතත් හැමදේම ඇස් ඉදිරිපිට ක්‍රියාවට නැංවීම” අනුව යැයි සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා ප්‍රකාශ කරයි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් නොවැම්බර් 9 දා පාර්ලිමේන්තුව විසුරුවා හරින ලද්දේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පනවා ඇති සීමා උල්ලංඝනය කරමින් බව ඔහුගේ ක්‍රියා කලාපයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති පෙත්සම් වලින් චෝදනා කෙරේ.

 

Related posts

Comments are closed.

Top