ඩයස්පෝරා නායිකාවකට ජනපතිගෙන් තුටු පඬුරු

Report
7Shares

නෝර්වේ වාසී විදේශගත දෙමළ දේශපාලන නායිකාවකට ජනාධිපතිවරයා කොළඹදී රජත මංජුසාවක් තිලිණ කර තිබේ.

ඔස්ලෝ අගනුවර නියෝජ්‍ය පුරපතිනි වශයෙන් කටයුතු කරන කම්ශාජිනී ගුණරත්නම්ට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන එම තුටු පඬුර දී ඇත්තේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ය.

කම්සි නමින් ප්‍රකට නියෝජ්‍ය පුරපතිනිය අගනුවරදී කොළඹ පුරපතිනි රෝසි සේනානායක සහ ශ්‍රී ලංකාවේ නෝර්වේ තානාපතිවරයා සමග රාත්‍රී භෝජන සංග්‍රහයක් භුක්ති විඳ තිබේ.

වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු තහනම ඉවත් කෙරුනු දෙමළ තරුණ සංවිධානයේ (TYO) ක්‍රියාධාරිනියක් වන කම්ශාජිනී ගුණරත්නම් සිය ශ්‍රී ලංකාවේ දසදින සංචාරයේදී යාපනය, මුලතිව් සහ මඩකලපුව බලා ද යාමට අපේක්ෂා කරන්නීය.

“මා ප්‍රධාන වශයෙන්ම මුණගැසීමට බලාපොරොත්තු වන්නේ කාන්තාවන්, තරුණ තරුණියන් සහ එම නගර වල මගේ සහගාමීන්,” යැයි ඇය සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රකාශයට පත් කර තිබේ.

ලේබර් පක්ෂය නියෝජනය කරමින් ඔස්ලෝ මහනගර සභාවට 2007 පත්වූ කම්සි ගුණරත්නම් කලක් මාධ්‍යවේදිනියක් වශයෙන්ද කටයුතු කර ඇත්තීය.

ඔස්ලෝ හි තරුණ කම්කරු ලීගයේ (AUF) නායිකාව වූ ඇය TYO සහ ජාතිවාදයට එරෙහි තරුණ සංවිධානයේ ද (YAR) ද ක්‍රියාධාරිනියකි.