ශ්‍රී ලංකාවේ යුද අපරාධ සිදුවූ බව ජවිපෙ පිළිගනී | VIDEO

Report
11Shares

රාජපක්ෂ පාලනය උතුරේ දියත් කළ යුද්ධයට නොපිරිහෙලා සහයෝගය දුන් ජනතා විමුක්ති පෙරමුණ එහිදී යුද අපරාධ සිදුවූ බව දස වසරකට පසු පිළිගෙන තිබේ.

“බෙදුම්වාදයට විරුද්ධ” ලෙස හඳුන්වමින් ජවිපෙ සහාය දුන් යුද්ධයේදී අඩුම වශයෙන් සාමාන්‍ය වැසියන් හැත්තෑ දහසක් මරා දමන ලද බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ගණන් බලා ඇත. ඊට අමතරව ශ්‍රී ලංකා රජයේ හමුදා චෝදනා ලබන අතුරුදහන් කිරීම් සහ ලිංගික අපරාධ ඇතුළු වධහිංසා පැමිණවීම් ඇති විශාල සංඛ්‍යාවක් පිලිබඳ තොරතුරු ජගත් සංවිධානය ඇතුළු මානව හිමිකම් සංවිධාන විසින් වාර්තා කර ඇත.

එම කෙලෙසීම් පිළිබඳව විමසීමේ අයිතියක් සියලුම “අවංක හා ප්‍රගතිශීලී” ජාත්‍යන්තර සංවිධානවලට ඇති බව ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක විදේශ අමාත්‍යංශ වැය ශීර්ෂය පිලිබඳ පාර්ලිමේන්තු විවාදයට සහභාගී වෙමින් පැවසීය.

“යුද අපරාධ සහ මානව හිමිකම් උල්ලංඝන උතුරේ හා දකුණේ දෙකේම වෙලා තියෙනවා,” යි ඔහු කියා සිටියේය.

සාමාන්‍ය දෙමළ ජනතාවට සිදුවන හානිය නොතකා බර අවි ප්‍රහාර එල්ල කිරීමට ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණ වරදක් කළ බව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක යුද්ධයෙන් පස් අවුරුද්දක් ගතවී ප්‍රකාශකර තිබුනි.

ඔහු විසින් එය හඳුන්වනු ලැබුවේ පක්ෂයේ 'සමබරතාවය බිඳ වැටුණු අවස්ථාවක්' ලෙසයි.

බර අවි ප්‍රහාර නැවැත්වීමට තීරණයක් ගත් බව රජය 2009 අප්‍රේල් මාසයේ ප්‍රකාශයට පත් කළ අවස්ථාවේ ජවිපෙ එය දැඩි ලෙස හෙලා දුටුවේ ඉන්දීය බලපෑම්වලට යටත් වීමක් ලෙසිනි.

අසුව දශකය අගභාගයේ රජයේ ආරක්ෂක අංශ විසින් ජවිපෙ දෙවැනි කැරැල්ල මර්දනය කිරීමේදී ඝාතනය හා අතුරුදහන් කරන ලද පිරිස තිස්දහසකට අධික වෙතැයි ගණන් බලා තිබේ.

ඒ සියලු අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉටු කළ යුතු යැයි පිළිගත් ජවිපෙ මන්ත්‍රීවරයා, එසේ වෙතත්, “අපේ ස්වෛරීත්වයට මැදිහත්වීමට තියෙන අයිතිය” ප්‍රතික්ෂේප කරන බව පවසමින් ජාත්‍යන්තර අධිකරණයක් මගින් යුක්තිය විනිශ්චය කිරීමට දැඩි සේ විරෝධය පල කළේය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය සමග හවුලේ රජය සම්මත කරගත් ජිනීවා යෝජනාවේ දැක්වෙන පරිදි ශ්‍රී ලංකාවේ යුද්ධයේ සිදු කරන ලද අපරාධ සම්බන්ධයෙන් විභාග කරන විශේෂ අධිකරණයට විදෙස් විනිසුරන් ද සහභාගි කර ගත යුතුය.

ජනාධිපතිවරයා විසින් නීති විරෝධී ලෙස පාර්ලිමේන්තුව අවහිර කිරීමේදී ශ්‍රේෂ්ඨාධිකරණය ක්‍රියා කළ ආකාරය පෙන්වා දෙමින් දේශීය අධිකරණ ක්‍රියාදාමයට “ලංකාවේ ප්‍රශ්නය ලංකාවේ බේරාගන්න පුළුවන්” බව ඉදිරි මාර්තුවේ පැවැත්වෙන 40 වැනි ජගත් මානව හිමිකම් සමුළුවේදී ජාත්‍යන්තරයට කියා දෙන ලෙස බිමල් රත්නායක මන්ත්‍රීවරයා විදේශ අමාත්‍යවරයාට උපදේශයක්ද ලබා දුන්නේය.