“බෙල්ල කපන” අභිනය පෑ බ්‍රිගේඩියර්ට ලන්ඩන් උසාවියකින් සිතාසි

Report
41Shares

උද්ඝෝෂකයන් පිරිසකට මරණීය තර්ජනයක් කළ බවට නැගෙන චෝදනාවක් රැගත් නඩු විභාගයක වගඋත්තරකරුවා ලෙස බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ හිටපු ආරක්ෂක දූත මාණ්ඩලිකයකු ලන්ඩන් නුවර අධිකරණයක් හමුවට කැඳවා තිබේ.

ශ්‍රී ලංකාවේ හැත්තෑ වැනි නිදහස් දිනය ලන්ඩන් නුවරදී සමරන අවස්ථාවේ ආණ්ඩුවට එරෙහිව උද්ඝෝෂණයේ යෙදුනු බහුතරයක් දෙමළ ජනතාවගෙන් සැදුම්ලත් විරෝධතා කරුවන්ට තර්ජනය කළ බවට ආරක්ෂක කටයුතු පිළිබඳ හිටපු අමාත්‍ය උපදේශක ආඬිගේ ප්‍රියංක ඉඳුනිල් ප්‍රනාන්දු චෝදනා ලබා සිටියි.

ඔහුට විරුද්ධව නඩු පවරා ඇත්තේ බ්‍රිතාන්‍යයේ මහජන ආරක්ෂාව පිළිබඳ පනත යටතේය.

එම අවස්ථාවේදී උද්ඝෝෂකයන්ට මුහුණ ලා සිටින බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු ගෙල හරහා කිහිප වරක් ඇඟිල්ල යවමින් සන් කරනු වීඩියෝ ගතවී තිබේ.

එය “පැහැදිලිවම ගෙල සිඳින ආකාරය අනුකරණය කොට දැක්වීමක්” බව පැමිණිල්ල මෙහෙයවන ලන්ඩනයේ කෙනිංටන් හි පබ්ලික් ඉන්ටරෙස්ට් නීති මධ්‍යස්ථානය (PILC) පවසයි.

හිටපු ආරක්ෂක උපදේශකගේ චර්යාව නීතිවිරෝධී ප්‍රචණ්ඩ ක්‍රියාවක් හා ඝාතනයක් සිදු කිරීමේ අරමුණින් සිදු කරන ලද බිය වැද්දීමක් බවට පැමිණිලි කරමින් අධිකරණය හමුවට ගොස් ඇත්තේ පල්ලියගුරුගේ විනෝද් ප්‍රියන්ත පෙරේරා, ගෝකුලක්‍රිෂ්ණන් නාරායනසාමි සහ මයුරන් සදානන්දන් යන තිදෙනාය.

සියයකට අධික පැමිණිලි

එම තර්ජනය සම්බන්ධයෙන් සියයකට අධික පිරිසක් ලන්ඩනයේ පොලිස් ස්ථාන කිහිපයකම පැමිණිලි කොට ඇති බව නීතිඥ කුලසේකරම් ගීතරත්නම් ගගන හා කියා සිටියේය.

විදේශීය දූත මණ්ඩල සාමාජිකයකු ලෙස බ්‍රිගේඩියර්වරයා තානාපති මුක්තිය භුක්ති විඳි අයකු හෙයින් ඔහු අත් අඩංගුවට ගැනීමට බ්‍රිතාන්‍ය පොලිසිය අසමත් වූ අතර ඔහුට එරෙහිව පියවර ගන්නා ලෙස බ්‍රිතාන්‍යයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන්ම මානව හිමිකම් සංවිධාන විසින් ජාත්‍යන්තර වශයෙන් නැගූ උද්ඝෝෂණය හමුවේ ශ්‍රී ලංකාවේ රජය විසින් ආරක්ෂක නිලධාරියා ආපසු කැඳවා ගන්නා ලදී.

තර්ජනාත්මක අභිනය පෑ බ්‍රිගේඩියර් ප්‍රනාන්දුට එරෙහිව නැගුනු චෝදනා සම්බන්ධයෙන් කිසිදු විනය පරීක්ෂණයක් නොපැවැත්වෙන බව ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ප්‍රකාශයට පත් කර තිබුනි.

ඔහුට එරෙහිව 2018 පෙබරවාරි 6 වැනිදා පවරන ලද නඩුවට පිළිතුරු දීමට පැමිණෙන ලෙස දෙවතාවක්ම සිතාසි යැවීමෙන් අනතුරුවත් බ්‍රිගේඩියර් හෝ ඔහුගේ නියෝජිතයකු හෝ අධිකරණය හමුවට පැමිණ නැත.

එම සිතාසි ප්‍රියංක ප්‍රනාන්දු ගේ ශ්‍රී ලංකාවේ නිවසට මෙන්ම ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට මෙන්ම විදේශ කටයුතු අමාත්‍යාංශයටත් භාර දෙන ලද බව නීතිඥ ගීතරත්නම් පවසයි.

කරුනු සලකා බලා නඩු විභාගය ජනවාරි 21 දාට පැවැත්වීමට තීරණය කළ අධිකරණය එදිනට වෙස්ට්මින්ස්ටර් මහේස්ත්‍රාත්වරයා හමුවේ පෙනී සිටින ලෙස නියෝග කර තිබේ.

ශ්‍රී ලංකාවේ යුද්ධයේ අවසාන භාගයේ දී මුලතිව් දිස්ත්‍රික්කයේ රජයේ රෝහල්වලට ප්‍රහාර වැදුනු අවස්ථාවේ ඒ ආසන්නනම ඉදිරි ආරක්ෂක වලල්ලේ සිටි 59 වැනි බලකාය යටතේ වූ සේනාංකයකට ප්‍රියංක ප්‍රනාන්දු අණ දුන් බව ITJP සහ ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS) සංවිධාන විසින් ඒ දිනවල නිකුත් කළ තොරතුරු ගොනුවකින් පෙන්වා දී තිබුනි.

එම ලිපි ගොනුවද වීඩියෝ දර්ශන සමගින් පැමිණිල්ලේ සාක්ෂි ලෙසින් අධිකරණයට භාර දී තිබේ.