අඟුණකොළපැලැස්ස හිරගෙදර ප්‍රහාරය: ආණ්ඩුවෙන් තවත් කමිටුවක්

Report
5Shares

බන්ධනාගාර නිලධාරීන් පිරිසක් සිරකරුවන්ට ප්‍රචණ්ඩ ලෙස පහර දෙමින් වද දෙනු දැක්වෙන වීඩියෝ දර්ශන දෙමාසයකට ආසන්න කලකට පසු ප්‍රසිද්ධියට පත්වීමෙන් අනතුරුව ඒ ගැන විභාග කිරීමට රජය විසින් පත් කරන ලද කමිටුවකට දැඩි විරෝධය මතුවීමෙන් අනතුරුව දෙවැනි කමිටුවක් පත්කර තිබේ.

කෙසේ වෙතත්, රජය කමිටු දෙකක්ම පත් කිරීමට පෙරාතුවම ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසම ඒ පිළිබඳ විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.

සිද්ධිය දැනගත් විගස බන්ධනාගාරයට ගොස් පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති මානව හිමිකම් කොමිසම ඉකුත් දෙසැම්බරයේ දී සිරකරුවන්ගෙන් සාක්ෂි සටහන් කරගෙන ඇති අතර ඔවුන් අධිකරණ වෛද්‍ය නිලධාරියකු හමුවට පමුණුවන ලද්දේ දැයි අධීක්ෂණය කර තිබේ.

දෙසැම්බර් මුලදී බන්ධනාගාර කොමසාරිස් ජනරාල් සහ අඟුණකොළපැලැස්ස බන්ධනාගාර අධිකාරිවරයා විමර්ශනය සඳහා කැඳවූ මානව හිමිකම් කොමිසම අවධාරණය කර ඇත්තේ රටේ නීතිය අනුව වධහිංසාව සාපරාධී කටයුත්තක් බවයි.

“වධහිංසාවෙන් නිදහසට අදාළ ව්‍යවස්ථාවේ එන ප්‍රතිපාදන වලට අනුකූලව කටයුතු කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළ කොමිසම, වධහිංසාව සාපරාධී කටයුත්තක් බවට පත් කෙරෙන 1994 අංක 22 දරන වධහිංසාවට එරෙහි සම්මුතිය කෙරේ අවධානය යොමු කරවන ලදී,” යි සභාපතිනි ආචාර්ය දීපිකා උඩුගම විසින් නිකුත් කරන ලද නිවේදනයක දැක්වේ.

නිල ඇඳුමින් මෙන්ම සාමාන්‍ය ඇඳුමින් ද සැරසුනු පිරිමින් කණ්ඩායමක් අඟුණකොළපැලැස්ස බන්ධනාගාරය භූමියේ දී පොලු මුගුරු ගෙන රැඳවියන්ට බැට දෙන ආකාරය සිරකාර අයිතිවාසිකම් වෙනුවෙන් සටන් වදින මුල් පෙලේ සංවිධානයක් විසින් ජනමාධ්‍ය වෙත ලබා දුන් පසු බන්ධනාගාර ප්‍රධානියාගේ නායකත්වයෙන් යුත් කමිටුවකට බාර කළ බව අධිකරණ හා බන්ධනාගාර කටයුතු බාර ඇමැතිනි තලතා අතුකෝරාල විසින් ප්‍රකාශයට පත් කර තිබුනි.

“තමන්ගේ නඩුව තමන්ම ඇසීම”

කමිටුව ප්‍රතික්ෂේප කරන සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව පෙන්වා දෙන්නේ “තමන්ගේ නඩුව තමන් නොඇසිය යුතුය” යන ස්වාභාවික යුක්ති මූලධර්මය ඇමැතිනිය විසින් එමගින් උල්ලංඝනය කර ඇති බවයි.

“මෙම සිද්ධියේ වගඋත්තරකාර පාර්ශවය වන බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සාමාජිකයන් ලෙස පත් කිරීම මගින් මෙම සිද්ධියේ වින්දිතයන්ට සාධාරණයක් ඉටුවේ යැයි බලාපොරොත්තු විය නොහැක,” යි සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති සේනක පෙරේරා සහ ලේකම් සුදේශ් නන්දිමාල්ගේ අත්සනින් අතුකෝරාල ඇමැතිනිය වෙත යවන ලද ලිපියක දැක්වේ.

“මෙහි කමිටු ප්‍රධානියා වන බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙනිය යන අය මීට පෙර අවස්ථා ගණනාවකදීම මාධ්‍යයට කියා තිබුනේ බන්ධනාගාර තුල රැඳවියන්ට එරෙහිව කිසිදු වධ හිංසාවක් සිදු නොවන බවය. එවැනි පුර්ව නිගමන වල සිට කටයුතු කරන පුද්ගලයන්ගෙන් අපක්ෂපාතී සහ ස්වාධීන විනිශ්චයක් කොහෙත්ම බලාපොරොත්තු විය නොහැක.”

වින්දිතයන්ට සාධාරණය ඉටුකර, වගඋත්තරකරුවන්ට එරෙහිව නීතිමය පියවර ගැනීම සඳහා විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරුවන් ඇතුළු බාහිර පුද්ගලයන්ගෙන් සමන්විත විමර්ශන කමිටුවක් පත් කරන ලෙස සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව තලතා අතුකෝරාල අමාත්‍යවරියගෙන් ඉල්ලා සිටී.

සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ ලිපියට පසුදා තවත් කමිටුවක් පත් කළ බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය දැනුම් දී තිබේ.

ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් පී.එම්.නානායක්කාර, රාජ්‍ය පරිපාලන හා ආපදා කළමණාකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරිය බී.එම්.එම්.එම්.බස්නායක සහ අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරිය ජී.ඩී.ඒ.ස්වර්ණලතා ගෙන් දෙවැනි කමිටුව වමන්විත වෙයි.

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන්ට අමානුෂික ලෙස පහරදීමට නායකත්වය සැපයූ බන්ධනාගාර නියාමකයන් සහ ගබඩා භාරකරුවන් ඇතුළු පිරිසක නම් ද සුදේශ් නන්දිමාල් මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශයට පත් කර තිබුනි.

රජයේ පරීක්ෂණ කමිටු දෙක සිය වාර්තා ජනවාරි 25 දා අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යවරිය ට භාරදීමට නියමිත අතර, දිගටම කෙරීගෙන යන සිය පරීක්ෂණ වලින් අනතුරුව නුදුරේම නිර්දේශ ප්‍රකාශයට පත් කරන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පවසයි.