ලන්ඩනයේදී “බෙල්ල කපන” අභිනය පෑ බ්‍රිගේඩියර්ට වරෙන්තු

Report
6Shares

ලන්ඩනයේ උද්ඝෝෂණය කළ දෙමළ ජනතාව ඉලක්ක කොට ගෙල සිඳින අභිනයක් පෑ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු ඇප නැතිව අත් අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් බ්‍රිතාන්‍ය අධිකරණයක් විසින් නිකුත් කර තිබේ.

ශ්‍රී ලංකාවේ හැත්තෑ වැනි නිදහස් දිනය ලන්ඩන් නුවරදී සමරන අවස්ථාවේ ආණ්ඩුවට එරෙහිව උද්ඝෝෂණයේ යෙදුනු බහුතරයක් දෙමළ ජනතාවගෙන් සැදුම්ලත් විරෝධතා කරුවන්ට තර්ජනය කළ බවට ආරක්ෂක කටයුතු පිළිබඳ හිටපු අමාත්‍ය උපදේශක ආඬිගේ ප්‍රියංක ඉඳුනිල් ප්‍රනාන්දුට එල්ල වුනු චෝදනාවට ඔහු වරදකරු බව වෙස්ට්මින්ස්ටර් මහේස්ත්‍රාත් අධිකරණයේ විනිසුරු තුන් කට්ටුවක් විසින් තීරණය කරන ලදී.

ඔහුට එරෙහිව නඩු පවරා තිබුනේ පල්ලියගුරුගේ විනෝද් ප්‍රියන්ත පෙරේරා, ගෝකුලක්‍රිෂ්ණන් නාරායනසාමි සහ මයුරන් සදානන්දන් යන තිදෙනාය.

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු හෝ ඔහුගේ නියෝජිතයකු හෝ අධිකරණයේ පෙනී සිටියේ නැති බව ගගන ලන්ඩන් වාර්තාකරු පවසයි.

ඔහු අධිකරණයට කැඳවීම සඳහා ඔහුගේ නිවෙසට මෙන්ම ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයටත් සිතාසි භාර දුන් බව පැමිණිල්ලේ නීතිඥයන් දැනුම් දුන්නත් ශ්‍රී ලංකා යුද හමුදාව පවසන්නේ තමන්ට එම සිතාසිය ලැබී නැති බවයි.

“නිල වශයෙන් අපට දැනුම් දුන්නොත් ඉදිරියේදී ගන්නා පියවර තීන්දු කරන්න පුළුවන්,” යයි ගගන කළ විමසීමකදී හමුදා ප්‍රකාශක සුමිත් අතපත්තු කියා සිටියේය.