නඩු නැති ඝාතන විරෝධී සංවිධාන වලට ජනපතිගෙන් දැඩි ප්‍රහාරයක්

Report
4Shares

මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් සැකකෙරෙන පුද්ගලයන් ඝාතනය කිරීම නිසා ජාත්‍යන්තර අපකීර්තියට ලක්වී ඇති පිලිපීන රාජ්‍ය නායකයා ගත් මාර්ගයේ යාමට බාධා කරන රාජ්‍ය නොවන සංවිධාන ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාගේ කෝපාවිෂ්ඨ ප්‍රහාරයට ලක්වී තිබේ.

ඉකුත් සතියේ පිලිපීනයේ නිල සංචාරයක යෙදෙමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් “ලෝකයටම ආදර්ශයක්” ලෙසින් ජනාධිපති රොඩ්රිගෝ ඩුටර්ටේ ගේ ඝාතක ක්‍රියාවලිය හඳුන්වනු ලැබීම මානව හිමිකම් සංවිධාන විසින් දැඩි ලෙස හෙලා දකින ලදී.

මත්ද්‍රව්‍ය චෝදනා නගා පිලිපීන පොලිසිය විසින් නඩු නැතිව 2016 සිට නිල වශයෙන් මරාදමා ඇති පිරිස පන්දහස ඉක්මවයි. එහෙත් මානව හිමිකම් සංවිධාන සැක කරන පරිදි සැබෑ ඝාතන ප්‍රමාණය 20,000 දක්වා ඉහල සංඛ්‍යාවක් විය හැක.

ශ්‍රී ලංකාවේ එම ක්‍රියාමාර්ගය අනුගමනය කිරීමට නොහැකි වීම ගැන ජනාධිපතිවරයා කනගාටුවට පත්විය.

“පිලිපීනයේ ජනාධිපති තුමා කරපු දේවල් නම් මම කරන්නේ නැහැ. ඒවා කරන්නේ නැත්තේ ඒවාට විරුද්ධ වෙන අය හුඟක් ඉන්න නිසා මේ රටේ,” යි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කියා සිටියේ මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික සතිය ප්‍රකාශයට පත් කරමින් මුලතිව් මුල්ලියාවලෛ විද්‍යානන්දන් මහා විද්‍යාලයේ පැවැති වැඩසටහනක් අමතමිනි.

නීතිවිරෝධී මත්ද්‍රව්‍ය විරෝධී වැඩපිළිවෙල ඉදිරි සතියේ සිට “නව මුහුණුවරකින්” ක්‍රියාවට නංවන බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා ඒ සඳහා “තාක්ෂණික උපදෙස්” ලබා දීම සඳහා පිලිපීන විශේෂඥ කණ්ඩායමක් ළඟදීම දිවයිනට පැමිණීමට නියමිත බව ද හෙළි කළේය.

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා පිලිපීන ජනාධිපතිවරයාගේ මාර්ගයේ යාමට අදිටන් කරගෙන සිටින්නේ නම් ඕලන්දයේ හේග් නුවර ජාත්‍යන්තර අපරාධ අධිකරණය (ICC) හමුවට යාමටත් සූදානම්ව සිටිය යුතු බවට මුල් පෙලේ මානව හිමිකම් සංවිධානයක් වන අයි ඩිෆෙන්ඩ් (iDefend) අනතුරු අඟවා තිබුනි.

ජනපති ඩුටර්ටේ ගේ “මත් විරෝධී යුද්ධය” නිසා ඝාතනයට ලක්වූවන් ගේ ඥාතීන් සහ නීතිවේදීන් විසින් පවරා ඇති පැමිණිලි සම්බන්ධයෙන් ICC ය මේ වනවිට මුලික විමර්ශන ආරම්භ කර තිබේ.

ජාත්‍යන්තර හියුමන් රයිට්ස් වොච් (HRW) සංවිධානය පිලිපීන ක්‍රියාවලිය හෙලා දැක තිබුනේ “ලෝකයේ කිසිම රටක් විසින් අනුකරණය සඳහා උත්සාහ වත් නොකළ යුතු මානව හිමිකම් ව්‍යසනයක්,” ලෙසිනි.

මානව හිමිකම් සංවිධාන වල අනතුරු ඇඟවීම ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා විසින් මුලතිව් රැස්වීමේදී දැඩි ලෙස හෙලා දකින ලදී.

“මේ කෑගහන මානව හිමිකම් කාරයෝ මේ රටේ මත් ද්‍රව්‍ය වලින් විනාශ වෙනවාට විරුද්ධව කිසිම වැඩ පිළිවෙලක් නැහැ. මත්ද්‍රව්‍ය කාරයොත් රකිනවා මානව හිමිකම් ගැන කියලා.”

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීමට තමන් ගත් තීරණය කවරාකාරයකින් හෝ වෙනස් නොකරන බවට ද ජනාධිපතිවරයා නැවත වතාවක් සහතික විය.

කෙසේවෙතත්, මරණීය දණ්ඩනය අත්හිටුවීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය පසුගිය මාසයේ ගන්නා ලද තීන්දුවට පක්ෂව ශ්‍රී ලංකාවද ඡන්දය දී තිබුනි.

බ්‍රසීලය විසින් ගෙන එන ලද යෝජනාවට පක්ෂව ඡන්ද 121 ක් ලැබුනු අතර විරුද්ධව ලැබුනේ ඡන්ද 35 කි. ඡන්දය දීමෙන් වැළකී සිටි රටවල් සංඛ්‍යාව 32 කි.