සියයට අනූවක් ඉඩම් නිදහස් කළ බව කියන ජනපතිට අභියෝගයක්

Report
3Shares

යුද හමුදාව වාඩිලාගෙන සිටින උතුරු නැගෙනහිර ඉඩම් වලින් සියයට අනූවක් මුදා හැර ඇති බවට ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයා කර ඇති ප්‍රකාශය බරපතල ලෙස අභියෝගයට ලක්වී තිබේ.

උතුරු නැගෙනහිර ආරක්ෂක අංශ භාරයේ පැවති රජයේ ඉඩම්වලින් සියයට 79.01 ක් ද, පෞද්ගලික හිමිකාරිත්වය සහිත ඉඩම්වලින් සියයට 90.02 ක් ද නිදහස් කර තිබෙන බව විශේෂ ජනාධිපති කාර්ය සාධන බළකාය පසුගිය මාසයේ රැස්වූ අවස්ථාවේ ප්‍රකාශයට පත් කරනු ලැබිනි.

එම ප්‍රකාශයෙහි සත්‍යයක් නොමැති බව පවසන ජනතාවගේ ඉඩම් අයිතිය වෙනුවෙන් පෙනී සිටින සංවිධාන ප්‍රකාශ කරන්නේ ජනතාවට අයිති ඉඩම් මෙන්ම පොදු භුමි ප්‍රදේශත් ආරක්ෂක අංශ ඇතුළු රජයේ ආයතන ගණනාවක් විසින් බලහත්කාරයෙන් අල්ලා ගෙන සිටින අතර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කරන සංඛ්‍යාලේඛන වල සත්‍යයක් නොමැත.

“ජනාධිපතිතුමා පසුගියකාලේ රඟ දැක්වූ දැක්විල්ල දැක්කහම අපිට විශ්වාස කරන්න පුලුවන්ද කියලා ගැටළුවක් තියෙනවා,” යි උතුරු නැගෙනහිර ධීවර සහයෝගීතා ව්‍යාපාරයේ සම්බන්ධීකාරක ඇන්ටන් ජේසුදාසන් කොළඹදී මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේය.

මුල්ලිකුලම්, පල්ලිමුනෙයි, අෂ්රෆ් නගර් හා කේපාපුලවු ඇතුළු ප්‍රදේශ කිහිපයක අක්කර දහස් ගණනක් හමුදාව යටතේ පවතින බවද ඔහු ප්‍රකාශ කරයි.

මනෝ තිත්තවැල්ල ගේ ප්‍රධානත්වයෙන් යුත් සංහිඳියා යාන්ත්‍රණ පිලිබඳ සම්බන්ධීකරණ ලේකම් කාර්යාලය (SCRM) විසින් ආරක්ෂක අමාත්‍යාංශය උපුටා දක්වමින් නිකුත් කළ සංඛ්‍යාලේඛන වල දැක්වෙන පරිදි පසුගිය වසර අග වනවිට උතුරු නැගෙනහිර නිදහස් කර ඇත්තේ 74% ක ඉඩම් ප්‍රමාණයක් පමනි.

අක්කර 30,187 ක භූමි ප්‍රමාණයක් තවමත් මුදා හැර නොමැත.

මෙම ඉඩම් යුද හමුදාව සතු බවට වැරදි මතයක් දකුණේ ජනතාව අතර තහවුරු කොට ඇතැයි පෙන්වා දුන් ඇන්ටන් ජේසුදාසන් ඒවා යුද සමයේ අත්පත් කරගත් ඔප්පු සහිත පාරම්පරික ඉඩම් බව අවධාරණය කළේය.

වාඩිලාගෙන සිටින අන්සතු භූමිය ආපසු භාර දීම සඳහා යුද හමුදාව ආණ්ඩුවෙන් මුදල් ඉල්ලා සිටීම “විහිලු සහගත තත්වයක්” බවට හෙලා දුටු ඔහු කියා සිටියේ සැබවින්ම වන්දි ගෙවිය යුත්තේ දශක තුනක කාලයක් තම ඉඩම් වලින් පලවා හැර සිටි ජනතාවට බවයි.

ජාතික ඉඩම් ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය පවසන පරිදි ආරක්ෂක අමාත්‍යාංශය පමණක් නොව සංචාරක සංවර්ධන අධිකාරිය, පුරා විද්‍යා දෙපාර්තමේන්තුව, භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ වනජීවී දෙපාර්තමේන්තුව දිස්ත්‍රික්ක අටක ඉඩම් බලහත්කාරයෙන් අල්ලාගෙන සිටී.

එම ඉඩම් අත්පත් කරගෙන සිටින්නේ යුද ධනවාදය යටතේ මහා පරිමාන ව්‍යාපෘති දියත් කිරීම සඳහාය.

තැන තැන ඉඩම් මුදා හැර ඇතත්, ඒවා ජනතාවට පලදායී ලෙස යොදාගත හැකි ආකාරයෙන් සිදුකර නැති බවට සජීව චාමිකර මාධ්‍යවේදීන් හමුවේ විස්තර ගෙනහැර දැක්වීය.

මේ වසර අවසානයට පෙර සියලු ඉඩම් ආපසු බාර දෙන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ගිය අවුරුද්දේ ප්‍රකාශ කළත් එම පොරොන්දුව ඉටු කර නැති බව ජාතික ඉඩම් ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය සහ ධීවර සහයෝගීතා ව්‍යාපාරය පෙන්වා දෙයි.

ජනාධිපතිවරයා මේ සතියේ වන්නියේ සංචාරයක යෙදුනු අවස්ථාවේ ඉඩම් අහිමි කරන ලද ජනතාව විසින් විරෝධතා දියත් කර තිබුනි.