පළාත් සභා බලතල වැඩි කිරීමට විපක්ෂ නායකයාගේ දැඩි විරෝධය

Report
7Shares

යෝජිත නව ව්‍යවස්ථාවෙන් පළාත් බලවත් කර පාර්ලිමේන්තුව “දරුණු ලෙස දුර්වල” කරන බව පවසන විපක්ෂ නායකයා “ඒකීය ලේබලය එලෙසම තිබියදී රට ෆෙඩරල් කළ හැක,” යනුවෙන් බියක් මතු කරමින් දෙමළ හා මුස්ලිම් ජනතාව පාරම්පරිකව ජීවත් වන උතුරු නැගෙනහිරට බලය බෙදීමට දැඩි ලෙස විරෝධය පා තිබේ.

“මේ රටේ දමිළ ජනතාවගෙන් බහුතරය ජීවත් වන්නේ උතුරු නැගෙනහිර පළාත් වලින් පිටය. මුස්ලිම් ජනතාවගෙන් ඇති බහුතරය ජීවත් වන්නේ නැගෙනහිර පලාතෙන් පිටය,” යයි තර්ක කරන මහින්ද රාජපක්ෂ “මේ වගේ රටකට අලුත් ව්‍යවස්ථාවක් හැදිය යුත්තේ ඒ යථාර්ථයත් හිතේ තබාගෙනය,” යි නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ව්‍යවස්ථා කෙටුම්පතක් තිබේද යන්න මතබේදයට තුඩු දී තිබෙන අවස්ථාවක විපක්ෂ නායකයා නිකුත් කර ඇති නිවේදනය පවසන්නේ “ශ්‍රී ලංකාව විනාශ කිරීමට” පිටු 187 ක “ව්‍යවස්ථාවක කෙටුම් පතක් හැටියට සකස් කර තිබු වාර්තාවක්” ව්‍යවස්ථා සම්පාදක සභාව ඉදිරියේ අගමැතිවරයා විසින් සභාගත කර ඇති බවයි.

එමගින් “පාර්ලිමේන්තුව දරුණු ලෙස දුර්වල කර පළාත් ව්‍යවස්ථාදායකයන් විශාල වශයෙන් බලවත් කිරීමට” යෝජනා කොට ඇතැයි පවසන මහින්ද රාජපක්ෂ පළාත් සභා වලට අයත් විෂය සම්බන්ධයෙන් නීති සකස් කිරීමට සියලු පළාත් සභා වල අනුමැතිය ලබා ගැනීමට එහි නිර්දේශ කර තිබීමට විරෝධය පල කරයි.

“පළාත් සභා වලට අයිති විෂයයන් ගැන පාර්ලිමේන්තුවෙන් නීති සෑදීමට නම් හැම පළාත් සභාවක්ම එයට එකඟ විය යුතු වේ. එක පළාත් සභාවක් හෝ එම නීතියට විරුද්ධ වුවහොත් එය සම්මත කිරීමට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලය මෙන්ම ජනමතවිචාරණයක්ද අවශ්‍ය වේ. නමුත් ඒ ආකාරයට සම්මත කරනු ලැබූ නීතියක් වුවද ඕනෑම පළාත් සභාවකට ඕනෑම වෙලාවක සරල බහුතරයකින් සම්මත කරන පනතකින් අහෝසි කර දැමිය හැක (කෙටුම්පතේ 132 ඡේදය)”

“පාර්ලිමේන්තුවේ බලය ඒ ආකාරයෙන් සීමා කළ විට ඒකීය රාජ්‍යය ෆෙඩරල් රාජ්‍යයක් බවට පරිවර්තනය වේ,” යි තර්ක කරමින් විපක්ෂ නායකයා සිය නිවේදනයෙන් එයට විරෝධය පල කරයි.

කෙසේ වෙතත්, යෝජිත ව්‍යවස්ථා කෙටුම්පතට විරුද්ධ වීම යනු සියලුම ව්‍යවස්ථා සංශෝධන වලට විරුද්ධ වීම නොවන බව අවධාරණය කරන නිවේදනය “ඒ ඒ ප්‍රාදේශීය ජන සමාජයන් වලට යම් කිසි ජාතික රාමුවක් තුල තමන්ගේ කටයුතු සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට හැකියාවක් තිබිය යුතු බවත්” පිළිගනී.

ඒ සඳහා ඉදිරි මහ මැතිවරණයේ දී ව්‍යවස්ථා සංශෝධන සම්බන්ධයෙන් සිය යෝජනා ඉදිරිපත් කිරීමේ අපේක්ෂාව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ විසින් පල කොට තිබේ.